Posted In:
[ එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය: ]
කති ජාගරතං සුත්තා, කති සුත්තෙසු ජාගරා
කතිභි රජමාදෙති, කතිභි පරිසුජ්ඣතීති.
(කීදෙනකුන්) නිදි වරද්දී කීදෙනෙකු නිදි ගත්තාහු වෙත් ද?
(කීදෙනකුන්) නිදද්දී කීදෙනෙක් නිදිවරන්නෝ වෙත් ද?
කෙතෙකින් (කෙලෙස්) රජස් ගණි ද? කෙතෙකින් පිරිසිදු වේ ද?
[ භගවා: ]
පඤ්ච ජාගරතං සුත්තා, පඤ්ච සුත්තෙසු ජාගරා,
පඤ්චභි රජමාදෙති, පඤ්චභි පරිසුජ්ඣතීති.
පස් දෙනෙකුන් (පඤෙචන්‍ද්‍රිය ධර්මයන්) නිදි වරද්දී පස්දෙනෙකුන් (පඤච නීවරණයෝ) නිදිගත්තාහු වෙත්.
පස්දෙනකුන් නිදද්දී පස්දෙනෙක් නිදි වරන්නෝ වෙත්.
පසෙකින් (පඤච නීවරණයෝ) කෙලෙස් රජස් ගණී. පසෙකින් (පඤෙචන්‍ද්‍රිය ධර්මයන්) පිරිසිදු වේ යි.
– සංයුත්තනිකාය – දෙවතා සංයූත්තය
Posted In:
– දායකත්වය චන්ද්‍රා දොරකුඹුර මහත්මිය.
Posted In:
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
මහණෙනි, මම දන්නහුගේ දක්නහුගේ ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම කියමි. නොදන්නහුගේ නොදක්නහුගේ නොකියමි. මහණෙනි, කුමක් දන්නහුගේ කුමක් දක්නහුගේ ආශ්‍රවයන් ක්ෂය වේද, රූපය මෙසේය, රූපයගේ ඉපදීම මෙසේය, රූපයගේ විනාශය මෙසේය, වේදනාව මෙසේය, වේදනාවගේ ඉපදීම මෙසේය, වේදනාවගේ විනාශය මෙසේය, සංඥාව මෙසේය, සංඥාවගේ ඉපදීම මෙසේය, සංඥාවගේ විනාශය මෙසේය, සංස්කාරයෝ මෙසේය, සංස්කාරයන්ගේ ඉපදීම මෙසේය, සංස්කාරයන්ගේ විනාශය මෙසේය. විඥානය මෙසේය, විඥානයාගේ ඉපදීම මෙසේය, විඥානයාගේ විනාශය මෙසේය. මහණෙනි, මෙසේ දන්නහුගේ මෙසේ දක්නහුගේ ආශ්‍රවයන්ගේ ක්ෂය වෙයි.
මහණෙනි, භාවනා කිරීමෙහි නැවත නැවත යෙදී වසන මහණහට ඒකාන්තයෙන් මෙබඳු කැමැත්තක් උපදින්නේය. මාගේ සිත දැඩිකොට අල්වා නොගෙන ආශ්රවයන්ගෙන් මිදෙන්නේ නම් ඉතා යෙහෙක (කියායි.)
එතකුදුවුවත් ඔහුගේ සිත දැඩිකොට අල්වා නොගෙන ආශ්‍රවයන් කෙරෙන් නොමිදේ, ඊට හේතු කවරේද? ඔහුගේ (සිත) නොවැඩූ බැවිනැයි කිය යුතුය. කුමක් නොවඩනා ලද බැවින්ද, සතර සතිපට්ඨානයන් නොවඩනා ලද බැවින්ද, සතර සම්‍යක් ප්‍රධාන වීර්යයන් නොවඩනා ලද බැවින්ද, සතර ඍද්ධිපාදයන් නොවඩනාලද බැවින්ද, පඤ්චෙන්ද්රියයන් නොවඩනා ලද බැවින්ද පඤ්චබලයන් නොවඩනා ලද බැවින්ද, සප්ත බොධ්‍යංගයන් නොවඩන ලද බැවින්ද, ආර්ය අෂ්ටාංගික මාර්ගය නොවඩනාලද බැවින්ද (වෙයි.)
මහණෙනි, යම්සේ වනාහි කිකිළියගේ බිජු අටක් හෝ දසයක් හෝ දොළසක් හෝ වෙද්ද, ඒ බිජු කිකිළිය විසින් මනාකොට සයනය නොකරන ලද්දාහු වෙද්ද, මනාකොට හාත්පස උණුසුම් නොකරන ලද්දාහු වෙද්ද, හාත්පස මනා කොට කුකුල් ගඳ නොගන්වන ලද්දාහු වෙද්ද, (එවිට) කිසිසේත් ඒ කිකිළියට ‘මාගේ කුකුළු පැටව් පා නිය අගින් හෝ මුවතුඩින් හෝ බිත්තර කටුව පළාගෙන සුවසේ පිටවන්නාහු නම් ඉතා මැනව’යි මෙබඳු කැමැත්තක් නූපදින්නේය. එතකුදුවුවත් ඒ කුකුළු පැටව් පා අගින් හෝ මුව තුඩින් හෝ බිත්තර කටුව පළාගෙන සුවසේ පිටවන්නට නුසුදුස්සෝම වෙති. ඊට හේතු කවරේද?
මහණෙනි, ඒ කියන ලද ප්රකාරවූම කිකිළියගේ බිජු අටක් හෝ දසයක් හෝ දොළසක් හෝ වෙද්ද, ඒ බිජු කිකිළිය විසින් මත්තෙහි මනාකොට සයනය නොකරන ලද්දාහු වෙත්. මනාකොට හාත්පස උණුසුම් නොගන්වන ලද්දාහු වෙත්. මනාකොට කුකුළු ගඳ නොගන්වන ලද්දාහුවෙත්. (එහෙයිනි)
මහණෙනි, එපරිද්දෙන්ම භාවනා කිරීමෙහි නැවත නැවත නොයෙදී වසන මහණහට මාගේ සිත (උපාදානයන් විසින්) අල්වා නොගෙන ආශ්‍රවයන් කෙරෙන් මිදෙන්නේ නම් ඉතා යෙහෙකැ’යි කිසිසේත් මෙබඳු සිතෙක් උපදින්නේද, එතකුදුවුවත් ඒ මහණහුගේ සිත දැඩිව අල්වා නොගෙන ආශ්රවයන්ගෙන් නොමිදේ. ඊට හේතු කවරේද? ඔහු විසින් නොවඩනා ලද බැවිනැයි කිය යුතුය. කුමක්හු නොවඩනා ලද බැවින්ද? සතර සතිපට්ඨානයන් නොවඩනා ලද බැවිනුදු, සතර සම්‍යක් ප්‍රධාන වීර්යයන් නොවඩනා ලද බැවිනුදු, සතර ඍද්ධිපාදයන් නොවඩනා ලද බැවිනුද, පඤ්චෙන්ද්රියන් නොවඩනා ලද බැවිනුදු, පඤ්චබලයන් නොවඩනා ලද බැවිනුදු, සප්තබොධ්‍යංගයන් නොවඩනාලද බැවිනුදු, ආර්ය අෂ්ටාංගික මාර්ගය නොවඩනාලද බැවිනුදු (වෙයි.)
මහණෙනි, භාවනා කිරීමෙහි නැවත නැවත යෙදී වසන මහණහට (උපාදානයන් විසින්) තදින් අල්ලා නොගෙන මාගේ සිත ආශ්රවයන්ගෙන් මිදෙන්නේ නම් ඉතා යෙහෙකැයි කිසිසේත් මෙබඳු සිතෙක් උපදින්නේද, ඉක්බිති දැඩිකොට අල්ලා නොගෙන ආශ්රවයන්ගෙන් ඔහුගේ සිත මිදේ. ඊට හේතු කවරේද? ඔහු විසින් වඩනලද බැවිනැයි කිය යුතුය. කුමක් වඩනලද බැවින්ද? සතරසතිපට්ඨානයන් වඩනලද බැවිනුදු, සතර සම්‍යක් ප්‍රධානයන් වඩනලද බැවිනුදු, සතර ඍද්ධිපාදයන් වඩනලද බැවිනුදු, පඤ්චෙන්ද්රියයන් වඩන ලද බැවිනුදු, පඤ්ච බලයන් වඩනලද බැවිනුදු, සප්තබොධ්‍යංගයන් වඩනලද බැවිනුදු, ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනලද බැවිනුදු (වෙයි.)
මහණෙනි, යම්සේ වනාහි කිකිළියගේ බිජු අටක් හෝ දසයක් හෝ දොළසක් හෝ වෙද්ද, ඒ බිජු කිකිළිය විසින් මනාකොට මත්තෙහි සයනය කරන ලද්දාහු වෙද්ද, මනාකොට හාත්පස උණුසුම් ගන්වන ලද්දාහු වෙද්ද, මනාකොට කුකුළුගඳ ගන්වන ලද්දාහු වෙද්ද, කිසිසේත් ඒ කිකිළියට ‘මාගේ කුකුළු පැටව් පා අගින් හෝ මුවතුඩින් හෝ බිජුවට පළාගෙන සුවසේ පිටතට නික්මෙන්නාහු නම් ඉතා යෙහෙකැ’යි මෙබඳු කැමැත්තක් නො උපදින්නේද, එතකුදු වුවත් ඒ කුකුළු පැටව් පා නිය අගින් හෝ මුවතුඩින් හෝ බිජුවට පළාගෙන සුවසේ පිටතට නික්මෙන්නට සුදුස්සෝම වෙති. ඊට හේතු කවරේද?
මහණෙනි, ඒ ප්රකාරවූම කිකිළියගේ බිජු අටක් හෝ දසයක් හෝ දොළසක් හෝ වෙද්ද? ඒ බිජු කිකිළිය විසින් මනාව මත්තෙහි හෝනා ලද්දාහු වෙති. මනාව හාත්පස උණුසුම් ගන්වන ලද්දාහු වෙති. මනාව හාත්පස කුකුළු ගඳ ගන්වන ලද්දාහු වෙති.
මහණෙනි, එපරිද්දෙන්ම භාවනා කිරීමෙහි නැවත නැවත යෙදී වාසය කරන්නාවූ මහණහට කිසිසේත් (උපාදාන වශයෙන්) තදින් අල්ලා නොගෙන ආශ්රවයන්ගෙන් මාගේ සිත මිදෙන්නේ නම් ඉතා යෙහෙකැ’යි මෙබඳු කැමැත්තක් නො උපදින්නේද, එතකුදුවුවත් (උපාදාන වශයෙන්) නොගෙන ආශ්රවයන්ගෙන් ඔහුගේ සිත මිදෙයි. ඊට හේතු කවරේද? වැඩුණු බැවිනැයි කියයුතු වන්නේය. කුමක් වඩන ලද බැවින්ද? සතර සතිපට්ඨානයන් වඩනලද බැවින්ද, සතර සම්‍යක් ප්‍රධාන වීර්යයන් වඩන ලද බැවින්ද, සතර ඍද්ධිපාදයන් වඩනලද බැවින්ද, පඤ්චෙන්ද්රියයන් වඩනලද බැවින්ද, පඤ්චබලයන් වඩනලද බැවින්ද, සප්තබොධ්‍යංගයන් වඩන ලද බැවින්ද, ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනලද බැවින්ද වේ.
මහණෙනි, යම්සේ වනාහි වඩුවාගේ හෝ වඩු අතවැස්සාගේ හෝ වෑමිටෙහි ඇඟිලි පාරවල් දක්නා ලැබෙද්ද, මහපට ඇඟිලි පාරවල් හෝ දකිනු ලැබෙද්ද, ‘මාගේ වෑමිට අද මෙපමණ ගෙවුණේය ඊයේ මෙපමණ ගෙවුණේය. පෙරේදා මෙපමණ ගෙවුණේ’යයි ඔහුගේ මෙසේ දැනීමෙක් නොවේමය. එතකුදුවුවත් නැතිවූ කල්හි නැතිවූයේය යන දැනීම ඇතිවෙයි.
මහණෙනි, එපරිද්දෙන්ම භාවනා කිරීමෙහි නැවත නැවත යෙදී වසන මහණහට ‘අද මාගේ ආශ්‍රවයන් අතුරෙන් මෙපමණ ක්ෂයවීයයි හෝ ඊයේ මෙපමණ ක්ෂයවීයයි හෝ පෙරේදා මෙපමණ ක්ෂයවීයයි හෝ’ කිසිසේත් මෙසේ දැනීම ඇති නොවේද, එතකුදුවුවත් ක්ෂයවූ කල්හි ක්ෂයවීමයයි දැනීම වෙයි.
මහණෙනි, යම්සේ වනාහි සමසක් මුළුල්ලෙහි දියෙහි දමා හේමන්ත කාලයෙහි ගොඩට ගන්නා ලද්දාවූ වේවැල් බැඳුමෙන් බඳින ලද්දාවූ මූදේ යන නැවකගේ බැමි අව් සුළඟින් වියලුනාහු වෙද්ද, ඒ බැමි වැසිකල වසින වැස්සෙන් තෙමෙන ලද්දාහු ලෙහෙසියෙන්ම දුබල වෙද්ද, දිරායද්ද, මහණෙනි, එපරිද්දෙන්ම භාවනා කිරීමෙහි නැවත නැවත යෙදී වසන මහණහුගේ සංයෝජනයෝ ලෙහෙසියෙන්ම යටපත් වෙත්,කුණුවෙත්.
(සංයුත්ත නිකාය -ඛන්ධ වර්ගය -. ඛන්ධ සංයුක්තය – පුප්ඵ වර්ගය)
Posted In:
පෘච්ඡා:01. කලහයෝත් විවාදයෝත් කොතැනින් උපන්හු ද? පරිදේව ශොකයෝත් මාත්සර්‍ය්‍යයෝත් මානඅභිමානයෝත් පිසිනුබසුත් යන මොහු අටදෙන කොතැනින් ප්‍රභූත වූහු ද? එඅරුත වදාළ මැනව.
විසර්ජන: කලහයෝත් විවාදයෝත් පරිදේව ශෝකයෝත් මාත්සර්‍ය්‍යයෝත් මාන-අතිමානයෝත් පෛශූන්‍යයෝත් (යන මොහු අටදෙනා) ප්‍රියවස්තූහු කෙරෙන් උපන්හ. කලහවිවාදයෝ ද (පරිදෙව-ශෝක-මාන අතිමාන පෛශූන්‍ය යෝ ද) මාත්සර්‍ය්‍යය හා යෙදුනාහු වෙත්, විවාද උපදුත් ම පිසුන් බස් උපදනේ ය.
පෘච්ඡා:02. ලෝකයෙහි ප්‍රියවස්තූහු කොයින් උපන්නාහු ද? නොහොත් කුමක් නිදාන කොට ඇත්තාහු ද? ලොව්හි ක්ෂත්රියාදි යම් කෙනෙක් ලෝභයෙන් හැසිරෙත් නම් එ ලොභය කුමක් නිදාන කොට ඇත් ද? ආශාවත් එහි සමෘද්ධියත් කුමක් නිදාන කොට ඇත්තාහු ද? මනුෂ්‍යයාට යම් ධර්ම කෙනෙක් පරලොව්හි පිහිට පිණිස වෙත් නම්, ඒ ධර්මයෝ කොයින් උපන්හු ද?
විසර්ජන: ලෝකයෙහි ප්‍රියවස්තූහු කාමච්ඡන්දය නිදාන කොට ඇත. යම් ක්ෂත්රියාදි කෙනෙක් හෝ ලෝභය හේතු කොට ලොව්හි හැසිරෙත් නම් ඔවුන්ගේ ඒ ලෝභයත් කාමච්ඡන්දය නිදාන කොට ඇත, ආශාවත් ආශාසෘමෘධියත් මේ කාමච්ඡන්දයම නිදාන කොට ඇත. යම් ධර්ම කෙනෙක් මිනිසාට පරලොව්හි හිත පිණිස වෙත් නම් උහු ද කාමච්ඡන්දය නිදාන කොට ඇති.
පෘච්ඡා:03. ලෝකයෙහි කාමච්ඡන්දය කුමක් නිදාන කොට ඇතියේ ද? තෘෂ්ණා-දෘෂ්ටි විනිශ්චයයෝ හෝ කොතැනින් උපන්නාහු ද? ක්‍රෝධයත් මෘෂාවාදයත් විචිකිච්ඡාවත් බුද්ධශ්‍රමණයන් වහන්සේ විසින් දෙසන ලද යම් අකුශල ධර්මයෝ හෝ වෙත් නම් ඔහු කොතැනින් උපන්නාහු ද?
විසර්ජන: ලොව්හි සුව යයි ද දුකැයි ද යමක් කියත් නම් එ සාත-අසාත වෙදනා නිසා කාමච්ඡන්දය උපදනේ ය. ලොකයෙහි සත්ත්ව තෙමේ භූතොපාදාය රූපයන්හි විනාශයත් උදයත් දැක තෘෂ්ණා-දෘෂ්ටි විනිශ්චය කරන්නේ යි.
ක්‍රෝධය හා මෘෂාවාදය හා විචිකිච්ඡා හා යන මේ ධර්මයෝත් සාතාසාතවෙදනා දෙක ඇතිවත් ම වෙත්. විචිකිච්ඡායෙන් යුක්ත පුද්ගල තෙමේ ඥානදර්ශනඥානාධිගමය සඳහා ත්රිවිධශික්ෂාහි හික්මෙන්නේ ය. බුද්ධශ්‍රමණයන් වහන්සේ විසින් අනිත්‍යාදි විසින් දැන ධර්මයෝ දෙසන ලදහ.
පෘච්ඡා:04. සුඛවෙදනා දුඃඛවෙදනා යන මොහු කුමකින් උපදනාහු ද? කුමක් නැතිවත්ම මොහු නූපදනාහු ද? යළි ඒ සාතාසාතයන්ගේ විනාශය හා උපත යන යම් අර්ථයෙක් යමෙකින් වේ නම්, ඔවුන්ගේ තෙල කාරණය මට ප්‍රකාශ කළ මැනැව.
විසර්ජන: සුඛවෙදනා දුඃඛවෙදනා හා ස්පර්ශය නිදාන කොට ඇත. ස්පර්ශය නැතිවත් ම තෙල සාතාසාතයෝ නූපදනාහ. සාතාසාතයන්ගේ විනාශය හා උදය හා යන යම් අර්ථයෙක් මෙ පහස කරුණු කොට උපදනේ නම් තෙල අරුත් තොපට කියමි.
පෘච්ඡා:05. ලොව්හි ස්පර්ශය කුමක් නිදාන කොට ඇත් ද? තෘෂ්ණාදෘෂ්ටි පරිග්‍රයෝත් කොයින් ප්‍රභූත වූ හු ද? කුමක් අවිද්‍යමාන කල්හි මමත්වය නැති ද? කුමක් ඉක්මැ යත් ම ස්පර්ශයෝ නො පහස්නාහු ද?
විසර්ජන:සම්ප්‍රයුක්ත නාමය හා වස්ත්‍වාලම්බනරූපය හා නිසා ස්පර්ශයෝ උපදනාහ. තෘෂ්ණාදෘෂ්ටිපරිග්‍රහයෝ ඉච්ඡාව නිදාන කොට ඇත්තාහ. ඉච්ඡාව නැති වත් ම මමත්වය නැත රූපය ඉක්මැ යත්ම ස්පර්ශයෝ නො පහස්නාහ.
පෘච්ඡා:06. කිසෙයින් පිළිපන්නහුට රූපය නො වේ ද? සුඛදුඃඛ හෝ කෙසේ නොවේ ද? තෙල රූප-සුඛ දුඃඛ යන තුණ යමෙසේ නොවේ නම් එ පරිදි මට වදාළ මැනැව. එය දනුම්හ‘යි මට සිතෙක් වී.
විසර්ජන:
න සඤ්ඤසඤ්ඤී න විසඤ්ඤසඤ්ඤී
නොපි අසඤ්ඤී න විභූත සඤ්ඤී
එවං සමේතස්ස විභොති රූපං
සඤ්ඤා නිදානා හි පපඤ්ච සංඛා
හේ ප්‍රකෘතිසංඥායෙන් සංඥා ඇතියේ නො වෙයි. විකෘතසංඥායෙන් විසංඥා ද නො වෙයි. සංඥා විරහිත ද නො වෙයි. ඉක්මැ වූ සංඥා ඇතියේ ද නො වෙයි. මෙසෙයින් පිළිපන්නහුට රූපය නො වෙයි. තෘෂ්ණාදී ප්‍රපඤ්ච සංඥා නිදාන කොට ඇති හෙයිනි.
පෘච්ඡා:07. අපි යමක් විචාළමෝ නම් එය අපට දෙසූහ. ඔබ ගෙන් අනෙක් කරුණකුදු විචාරම්හ. එ ද ඒකාන්තයෙන් වදාළ මැනැව. මෙ ලොව්හි පණ්ඩිතමානී ඇතැම් මහණබමුණු කෙනෙක් මෙ අරූපසමාපත්තිමාත්‍රයෙන් මැ සත්වයාගේ අග්‍ර ශුද්ධියක් කියත් දැ? යි.
විසර්ජන: මෙ ලෝකයෙහි පණ්ඩිතමානී ඇතැම් මහණ බමුණු කෙනෙක් මෙ අරූපසමාපත්ති මාත්‍රයෙනුදු සත්වයාගේ අග්‍ර වූ ශුද්ධිය කියත් මැ යි ඔවුනතුරෙන් ඇතැමෙක් අනුපාදිශේෂයෙහි පණ්ඩිතවාද ඇත්තාහු උච්ඡේද ශුද්ධිය කියත්.
තවද තෙල දෘෂ්ටිගතිකයන් ශාශ්වතොච්ඡෙදදෘෂ්ටි ඇසුරුකළාහු’යි දැන පණ්ඩිත බුද්ධමුනි තෙම තෘෂ්ණාදෘෂ්ටිනිඃශ්‍රයන් දැන දුඃඛ අනිත්‍යාදි විසින් ධර්මයත් දැන අනුපාදාවිමෝක්ෂයෙන් මිදුනේ විරුද්ධවාදයට නො එළඹෙයි, එ ධීර තෙම පුන පුනා භවයට නො පැමිණේ යි.
කලහවිවාද සූත්‍රය නිමි.
(ඛුද්දකනිකාය -සුත්තනිපාතය -අට්ඨක වර්ගය)
කලහවිවාද සුත්‍රය ආශ්රිත සියලු දේශණා,
කළහවිවාද දේශණාව මත සම්පාදනය වූ “කලහවිවාද සූත්‍රය” පොත.
2017 අගෝස්තු මස 05 දින කොළඹ ජත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සිදුකල දේශනාව සදහා YouTube යොමුව,
Posted In:
Posted In:
එවං මෙ සුතං – එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි –
බහූ දෙවා මනුස්සා ච, මඞ්ගලානි අචින්තයුං
ආකඞ්ඛමානා සොත්ථානං, බ්රූහි මඞ්ගලමුත්තමං.
බොහෝ දෙවියෝද මනුෂ්‍යයෝද යහපත පතන්නෝ අභිවෘද්ධිය සලසාලන උතුම් කරුණු සෙවූහ. වහන්ස, අභිවෘද්ධිය සලසාලන උතුම් කරුණු වදාරණ සේක්වායි” ගාථායෙන් කීය.
අසෙවනා ච බාලානං, පණ්ඩිතානඤ්ච සෙවනා
පූජා ච පූජනෙය්යානං, එතං මඞ්ගලමුත්තමං.
1.බාලයන් සේවනය නොකිරීම. 2.පණ්ඩිතයන් ඇසුරු කිරීම. 3.පිදිය යුත්තන් පිදීම
පතිරූපදෙසවාසො ච, පුබ්බෙ ච කතපුඤ්ඤතා
අත්තසම්මාපණිධි ච, එතං මඞ්ගලමුත්තමං.
4.සුදුසු ප්‍රදේශයන් හි වාසය කිරීම. 5.පෙර කරන ලද පින් ඇති බව. 6.තමා ශීලාදී දහම්හි පිහිටුවීම.
බාහුසච්චඤ්ච සිප්පඤ්ච, විනයො ච සුසික්ඛිතො
සුභාසිතා ච යා වාචා, එතං මඞ්ගලමුත්තමං.
7.බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව. 8.මනා කොට ශිල්ප දැනීම. 9.විනයෙන් හික්මීම. 10.යහපත් වචන භාවිතය.
මාතාපිතු උපට්ඨානං, පුත්තදාරස්ස සඞ්ගහො
අනාකුලා ච කම්මන්තා, එතං මඞ්ගලමුත්තමං.
11.මව්පිය උපස්ථානය. 12.දරුවන්ට සංග්‍රහ කිරීම. 13.භාර්යාවන්ට සංග්‍රහ කිරීම. 14. නිරවුල් ගෘහ ජීවිතය.
දානඤ්ච ධම්මචරියා ච, ඤාතකානඤ්ච සඞ්ගහො
අනවජ්ජානි කම්මානි, එතං මඞ්ගලමුත්තමං.
15.දානය. 16.ධර්මයෙහි හැසිරීම. 17.නෑයන්ට සංග්‍රහ කිරීම. 18.නිරවුල් කර්මාන්තය.
ආරතී විරතී පාපා, මජ්ජපානා ච සංයමො
අප්පමාදො ච ධම්මෙසු, එතං මඞ්ගලමුත්තමං.
19.පවින් වැළකීම. 20.මත්පැන් පානයෙන් වැළකීම. 21.නොපමාව කුසල් කිරීම.
ගාරවො ච නිවාතො ච, සන්තුට්ඨි ච කතඤ්ඤුතා;
කාලෙන ධම්මස්සවනං, එතං මඞ්ගලමුත්තමං.
22.ගරු කළ යුත්තන්ට ගරු කිරීම. 23.නිහතමානී බව. 24.ලද දෙයින් සතුටු වීම.
25.කළ ගුණ සැලකීම. 26.සුදුසු කල ධර්මය ශ්‍රවනය කිරීම.
ඛන්තී ච සොවචස්සතා, සමණානඤ්ච දස්සනං;
කාලෙන ධම්මසාකච්ඡා, එතං මඞ්ගලමුත්තමං.
27.ඉවසීම. 28.කීකරු බව. 29.ශ්රමණයන් වහන්සේලා දැකීම. 30.සුදුසු කල්හි ධර්ම සාකච්ඡාව.
තපො ච බ්රහ්මචරියඤ්ච, අරියසච්චාන දස්සනං;
නිබ්බානසච්ඡිකිරියා ච, එතං මඞ්ගලමුත්තමං.
31.තපස. 32.බඹසර රැකීම. 33.චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනීම. 34.නිර්වාණය අවබෝධ කිරීම.
ඵුට්ඨස්ස ලොකධම්මෙහි, චිත්තං යස්ස න කම්පති;
අසොකං විරජං ඛෙමං, එතං මඞ්ගලමුත්තමං.
35.අටලෝ දහමින් කම්පා නොවීම. 36.ශෝක නැති බව. 37.කෙළෙසුන්ගෙන් දුරු වීම. 38.චතුර්යෝග භයින් මිදුණු බව.
එතාදිසානි කත්වාන, සබ්බත්ථමපරාජිතා;
සබ්බත්ථ සොත්ථිං ගච්ඡන්ති, තං තෙසං මඞ්ගලමුත්තමන්ති.
මෙවැනි අභිවෘද්ධියට කරුණුවූ දේ කිරීමෙන් හැමතන්හි නොපැරදුනෝව හැමතන්හි සැපසේ යත්. ඒ දේ ඒ පුරන්නහුට උතුම් මඟුල්ය.
2017 ජුලි මස 01 දින කොළඹ විජේරාම පාරේ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ පැවැත්වූ මංගල සුත්‍රය ආශ්රිත දේශනාව.
දේශනාව අතරතුර ගත් චායාරූප :
https://goo.gl/photos/hwh6G6LqibjWPxCQ9
YouTube සදහා යාවත්කාලීන වූ ධර්ම දේශනාව (සංස්කරණ වෙමින් පවතී ) :
අනෙකුත් වැඩමුළු තුලදී පැහැදිළි කරණ ලද මහා මංගල සුත්‍රය ආශ්රිත සියලු දේශණා,
Posted In:
(ඉදිරි දෘශ්‍ය පටිගත කිරීම් අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීමට මැදමාවත YouTube චැනලය “Subscribe” කරන්න.)
https://goo.gl/photos/hzH7GjjSvCkjJW9T9
Posted In:
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ උදය කාලයෙහි හැඳ පාත්‍ර සිව්රු ගෙන එක්තරා භික්ෂුණී ආශ්රමයක් යම් තැනෙක්හිද එතැනට ගියේය. ගොස් පනවන ලද ආසනයෙහි හිඳ ගත්තේය.
එකල්හි බොහෝ භික්ෂුණීහු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ යම් තැනෙක්හිද එතැනට පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වැඳ, එක්පසෙක හිඳගත්හ. එක්පසෙක හිඳගත් ඒ භික්ෂුණීහු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙසේ කීහ. ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන් වහන්ස, මෙහි බොහෝ භික්ෂුණීහු සතර සතිපට්ඨානයන්හි මනාකොට පිහිටුවන ලද සිත් ඇතිව වාසය කරමින් වඩ වඩා උසස් විශෙෂයන් අවබොධ කරත්.
‘නැගනිවරුනි, එය එසේමය. නැගනිවරුනි, එය එසේමය. නැගනිවරුනි, යම්කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ සතර සතිපට්ඨානයන්හි මනාකොට පිහිටුවන ලද සිත් ඇතිව වාසය කෙරේද, ඔහු වඩ වඩා උසස් විශෙෂ අවබොධ කරන්නේය යන මෙය කැමතිවිය යුතුයයි, කීය.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ ඒ භික්ෂුණීන්හට දැහැමි කථාවකින් කරුණු දක්වා සමාදන් කරවා සිත් තියුණු කරවා සිත් පහදවා ආසනයෙන් නැගිට ගියේය.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ සැවැත් නුවර පිඬු පිණිස හැසිර පසු බත් කාලයෙහි පිණ්ඩපාතයෙන් ආපසු පැමිණියේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක් හිද එතැනට පැමීණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, මම උදය කාලයෙහි හැඳ පාත්‍ර සිවුරු ගෙන එක්තරා භික්ෂුණී ආශ්රමයක් යම් තැනෙකද එහි ගියෙමි. ගොස් පනවන ලද ආසනයෙහි හිඳ ගත්තෙමි. ස්වාමීනි, එකල්හි බොහෝ භික්ෂුණීහු මම යම් තැනෙක්හිද එහි පැමිණියහ. පැමිණ මාහට වැඳ එක්පසෙක හිඳගත්හ. එක්පසෙක හිඳගත් ඒ භික්ෂුණීහු මට මෙසේ කීහ. ‘ස්වාමීනි, ආනන්ද ස්ථවිරයෙනි, බොහෝ භික්ෂුණීහු සතර සතිපට්ඨානයන්හි පිහිටුවන ලද සිත් ඇතිව වාසය කිරීමෙන් වඩ වඩා උසස් විශෙෂයන් අවබොධ කරත්’යි.
“ස්වාමීනි, මෙසේ කියන ලද්දාවූ මම ඒ භික්ෂුණීන්හට මෙසේ කීයෙමි. ‘නැගනිවරුනි, ඒ එසේමය. නැගනිවරුනි එසේමය. නැගනිවරුනි, යම් භික්ෂුවක් හෝ යම් භික්ෂුණියක් හෝ සතර සතිපට්ඨානයන්හි පිහිටුවන ලද සිත් ඇතිව වාසය කෙරේද ඔහු වඩ වඩා උසස් විශෙෂයන් අවබොධකරන්නේය යන මෙය කැමැතිවිය යුතුය”යි.
“ආනන්දය, ඒ එසේමය. ආනන්දය, ඒ එසේමය. ආනන්දය, යම්කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ සතර සතිපට්ඨානයන්හි මනාව පිහිටුවන ලද සිත් ඇතිව වාසය කරයිද ඔහු වඩ වඩා උසස් විශෙෂයන් අවබොධ කරන්නේය යන මෙය කැමතිවිය යුතුයි.
“කවර සතරෙක්හිද යත්? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙමේ වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලොකයෙහි ලොභ ද්වෙෂයන් දුරු කොට කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරයිද, ඒ කයෙහි කය නැවත බලමින් වාසය කරන්නාවූ ඔහුට කය අරමුණු කොට කයෙහි ක්ලෙශ දාහයක් උපදින්නේ හෝ වෙයිද, සිතෙහි හැකිලීමක් උපදින්නේ හෝ වෙයිද, පිටත් අරමුණුවල සිත විසිර යන්නේ හෝ වෙයිද, ආනන්දය, ඒ භික්ෂුව විසින් යම්කිසි ප්‍රසාදය උපදින අරමුණක (පණිධාය භාවනා) සිත පිහිටු විය යුතුයි. කිසියම් ප්‍රසාදය උපදින අරමුණක සිත පිහිටවූ ඔහුට තරුණ ප්‍රීතිය උපදියි, තරුණ ප්‍රීතිය උපන් ඔහුට බලවත් ප්‍රීතිය උපදියි, බලවත් ප්‍රීතියෙන් යුත් ඔහුගේ නාම කය සංසිඳෙයි. සන්සිඳුනු කය ඇත්තේ සැපය ලබයි. සැපවත් වූවහුගේ සිත සමාධියට පැමිණෙයි. හෙතෙම මෙසේ සිතයි. මම වනාහි යම් අර්ථයක් පිණිස සිත පැහැදිය යුතු අරමුණෙක්හි තැබුයෙම්ද ඒ මාගේ අර්ථය මුදුන් පැමිණියේය. දැන් එය ඉවත් කරමි’යි හෙතෙම එම අරමුණෙන් සිත ඉවත් කරන්නේද වෙයි. ක්ලෙශ විතර්කයක් නොසිතන්නේද වෙයි. ක්ලෙශ විචාරයක් නූපදන්නේද වෙයි. ‘ක්ලෙශ විතර්ක විචාර රහිත වූයෙමි. භාවනාරම්මණයෙහි සිහියෙන් යුක්ත වෙමි. සැපයෙන් යුක්ත වෙමියි’ දැනගනියි.
“නැවත අනිකක්ද කියමි. ආනන්දය, මහණතෙම වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලොකයෙහි ලෝභ ද්වෙෂයන් දුරුකොට වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කරයිද, වේදනාවන්හි වේදනා නැවත නැවත බලමින් වාසය කරන්නාවූ ඔහුට වේදනාව අරමුණු කොට කයෙහි ක්ලෙශ දාහයක් උපදින්නේ හෝ වෙයිද, සිතෙහි හැකිලීමක් උපදින්නේ හෝ වෙයිද, පිටත් අරමුණුවල සිත විසිර යන්නේ හෝ වෙයිද. ආනන්දය, ඒ භික්ෂුව විසින් යම්කිසි ප්‍රසාදයක් උපදින අරමුණක (පණිධාය භාවනා) සිත පිහිට විය යුතුයි. කිසියම් ප්‍රසාදය උපදින අරමුණක සිත පිහිටවූ ඔහුට තරුණ ප්‍රීතිය උපදියි. තරුණ ප්‍රීතිය උපන් ඔහුට බලවත් ප්‍රීතිය උපදියි. බලවත් ප්‍රීතියෙන් යුත් ඔහුගේ නාම කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇත්තේ සැපය ලබයි. සැපවත් වූවහුගේ සිත සමාධියට පැමිණෙයි. හෙතෙම මෙසේ සිතයි. ‘මම වනාහි යම් අර්ථයක් පිණිස සිත පැහැදිය යුතු අරමුණෙක්හි තැබූයෙම්ද, ඒ මාගේ අර්ථය මුදුන් පැමිණියේය, දැන් එය ඉවත් කරමි’යි හෙතෙම එම අරමුණෙන් සිත ඉවත් කරන්නේද වෙයි. ක්ලෙශ විතර්කයක් නොසිතන්නේද වෙයි. ක්ලෙශ විචාරයක් නූපදින්නේද වෙයි ‘ක්ලෙශ විතර්ක විචාර රහිත වූයෙමි. භාවනාරම්මණයෙහි සිහියෙන් යුක්ත වෙමි. සැපයෙන් යුක්ත වෙමියි’ දැන ගනියි.
“නැවත අනිකක්ද කියමි. ආනන්දය, මහණතෙමේ වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලොකයෙහි ලොභ ද්වෙෂයන් දුරුකොට චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරයිද චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරන්නාවූ ඔහුට සිත අරමුණු කොට කයෙහි ක්ලෙශ දාහයක් උපදින්නේ හෝ වෙයිද, සිතෙහි හැකිලීමක් උපදින්නේ හෝ වෙයිද පිටත් අරමුණුවල සිත විසිරයන්නේ හෝ වෙයිද ආනන්දය, ඒ භික්ෂුව විසින් යම්කිසි ප්‍රසාදය උපදින අරමුණක (පණිධාය භාවනා) සිත පිහිට විය යුතුයි. කිසියම් ප්‍රසාදය උපදින අරමුණක සිත පිහිටවූ ඔහුට තරුණ ප්‍රීතිය උපදියි. තරුණ ප්‍රීතිය උපන් ඔහුට බලවත් ප්‍රීතිය උපදියි. බලවත් ප්‍රීතියෙන් යුත් ඔහුගේ නාම කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇත්තේ සැපය ලබයි. සැපවත් වූවහුගේ සිත සමාධියට පැමිණෙයි. හෙතෙම මෙසේ සිතයි. ‘මම වනාහි යම් අර්ථයක් පිණිස සිත පැහැදිය යුතු අරමුණෙක්හි තැබූයෙම්ද ඒ මාගේ අර්ථය මුදුන්පැමිණියේය දැන් එය ඉවත් කරමියි’ හෙතෙම එම අරමුණෙන් සිත ඉවත් කරන්නේද වෙයි. ක්ලෙශ විතර්කයක් නොසිතන්නේද වෙයි. ක්ලෙශ විචාරයක් නූපදවන්නේද වෙයි. ක්ලෙශ විතර්ක විචාර රහිත වූයෙමි. භාවනාරම්මණයෙහි සිහියෙන් යුක්ත වෙමි. සැපයෙන් යුක්ත වෙමියි’ දැනගනියි.
“නැවත අනිකක්ද කියමි. ආනන්දය මහණතෙම වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ස්කන්ධලොකයෙහි ලොභ ද්වෙෂයන් දුරුකොට ධර්මයන්හි ධර්මයන් නැවත නැවත ලබමින් වාසය කරයිද, ධර්මයන්හි ධර්මයන් නැවත නැවත ලබමින් වාසය කරන්නාවූ ඔහුට ධර්මයන් අරමුණු කොට කයෙහි ක්ලෙශ දාහයක් උපදින්නේ හෝ වෙයිද සිතේ හැකුළුණු බවක් උපදින්නේ හෝ වෙයිද පිටත් අරමුණක සිත දුවන්නේ හෝ වෙයිද ආනන්දය, ඒ භික්ෂුව විසින් යම්කිසි පැහැදියයුතු අරමුණක සිත පිහිට විය යුතුයි. සිත පැහැදිය යුතු අරමුණක පිහිටවූ ඔහුට තරුණ ප්‍රීතිය උපදියි. තරුණ ප්‍රීතිය උපන්නහුට බලවත් ප්‍රීතිය උපදියි. බලවත් ප්‍රීතිය උපන්නහුගේ නාම කය සංසිඳෙයි. සංසිඳුණු නාම කය ඇත්තේ සැප වේදනා ඇත්තේ වෙයි. සැප වේදනා ඇත්තහුගේ සිත සමාධියට පැමිණෙයි. හෙතෙම මෙසේ සිතයි. ‘මම යම් අර්ථයක් සඳහා සිත පැහැදිය යුතු අරමුණෙක්හි තැබුයෙම්ද මාගේ ඒ අර්ථය මුදුන් පැමිණියේය. දැන් සිත එයින් ඉවත් කරමියි’ හෙතෙම ඒ අරමුණෙන් සිත ඉවත් කරන්නේද වෙයි. ක්ලෙශ විතර්කයන් නොසිතන්නේද වෙයි. ක්ලෙශ විචාරයන් නූපදවන්නේද වෙයි. ක්ලෙශ විතර්ක නැත්තේ වෙමි. අකුසල විචාර නැත්තේවෙමි. භාවනාරම්මණයෙහි උපන් සිහියෙන් යුක්තවූයෙම් සැප ඇත්තෙමියි දනියි. ආනන්දය, මෙසේ වනාහි පණිධාය (කමටහන් අරමුණෙන් අන් අරමුණක සිත ටික වේලාවක් තබා) කරන භාවනාව වෙයි.
“ආනන්දය, කෙසේ නම් සිත පිටත් අරමුණක නොතබා කරන භාවනාව වෙයිද? ආනන්දය, මහණතෙම සිත පිටත් අරමුණක නොතබා ‘මා විසින් පිටත් අරමුණක සිත නොතබන ලදැයි’ දැනගනියි. ඉක්බිති පූර්වය යයි කියන ලද මුල් කර්මස්ථානයෙහිද පසුයයි කියනලද අර්හත්වයෙහිද සිත නොහැකුළුණේය. කෙලෙසුන්ගෙන් මිදුණේය. සිත පිටත් අරමුණක නොතබන ලදැයි දැනගනියි. නැවතද වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරමි. සැපයෙන් යුක්ත වෙමියි’ දැනගනියි.
“ආනන්දය, මහණතෙම සිත පිටත් අරමුණක නොතබා ‘මා විසින් පිටත් අරමුණක සිත නොතබන ලදැයි’ දැනගනියි. ඉක්බිති පළමුව හා පසුව සිත නොහැකුළුණේය. කෙලෙසුන් කෙරෙන් මිදුණේය. පිටත් අරමුණක සිත නොතබන ලදැයි’ දැනගනියි. නැවතද වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව වෙදනාවන්හි වෙදනාවන් නැවත නැවත බලමින් වාසය කරමි. සැපයෙන් යුක්ත වෙමියි දැනගනියි.
“ආනන්දය, මහණ තෙමේ පිටත් අරමුණෙක්හි සිත නොපිහිටුවා ‘මා විසින් පිටත් අරමුණක සිත නොතබනලදැයි’ දැනගනියි. ඉක්බිති පළමුව හා පසුව සිත නොහැකුළුණේය. කෙලෙසුන් කෙරෙන් මිදුණේය. පිටත් අරමුණක නොපිහිටුවන ලදැයි’ දැනගනියි. තවද වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කරමි. සැප ඇත්තෙමියි’ දැනගනියි.
“ආනන්දය, මහණතෙම සිත පිටත් අරමුණක නොතබා ‘මා විසින් සිත පිටත් අරමුණක නොතබන ලදැයි දැනගනියි. නැවත පළමුව හා පසුව සිත නොහැකුළුණේය. කෙලෙසුන් කෙරෙන් මිදුණේය. පිටත් අරමුණක නොතබන ලදැයි’ දැනගනියි. නැවත වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ධර්මයන්හි ධර්මයන් අනුව නැවත නැවත බලමින් වාසය කරමි. සැපයෙන් යුක්තවෙමියි දැන ගනියි.
“ආනන්දය, මෙසේ වනාහි සිත අන් අරමුණක නොතබා කරන භාවනාව වේ. ආනන්දය, මෙසේ ‘මා විසින් සිත අන් අරමුණක (පණිධාය භාවනා) තබා කරන භාවනාවත් අන් අරමුණක නොතබා (අප්පණිධාය භාවනා) කරන භාවනාවත් දෙශනා කරන ලදහ. ආනන්දය, හිතෙසීවූ ශාස්තෘවරයෙකු විසින් ශ්රාවකයන්හට යමක් කටයුතු නම් එය මා විසින් තොපට අනුකම්පා උපදවා කරනලදී. ආනන්දය, මේ වෘක්ෂ මූලයෝය. මේ සූන්යාගාරයෝය. ආනන්දය, ධ්‍යාන කරව්. ප්‍රමාද නොවව්. පසුව පසුතැවිලි වූවෝ නොවව්. මේ වනාහි අපගේ අනුශාසනාවයි.”
(සංයුත්තනිකාය–මහාවග්ගපාළි–සතිපට්ඨානසංයුත්තය–අම්බපාලිවග්ග– භික්ඛුනුපස්සයසුත්තං)
Posted In:
https://goo.gl/photos/MgGsaecRCm2yYnDx6
https://www.youtube.com/watch?v=8A3W06qM9UI&list=PL9XtrbDeB9NIGz9CWLW2bU41WyqhaRxfl
Posted In: