0777304415 , 0703300135     info@medamawatha.lk

 

  • 2025 ජනවාරි මස 18 දින සිට 20 දක්වා ඕස්ට්‍රේලියාවේ Dallas Tennis Hall දී සිදු කල භාවනා වැඩසටහන :

 

 

  • 2025 ජනවාරි 25 දින සිට 27 දක්වා ඕස්ට්‍රේලියාවේ Keysborough ධම්මසරණ විහාරයේදී සිදු කල භාවනා වැඩසටහන :

 

  • 2025 පෙබරවාරි මස 07 දින සිට 11 දක්වා ඕස්ට්‍රේලියාවේ Elermore Vale Community Centre දී සිදු කල භාවනා වැඩසටහන :

 

  • 2025 පෙබරවාරි මස 15 දින සිට මාර්තු 02 දක්වා ඕස්ට්‍රේලියාවේ Brisbane නුවර ශ්‍රීලංකාරාම විහාරස්ථානයේ දී සිදු කල ධර්ම දේශනා:

 

  • 2025 මාර්තු මස 13 සිට 19 දක්වා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර Jhana Grove Meditation Centre හීදී සිදු කල ධර්ම දේශනා :

 

  • 2025 මාර්තු මස 22 සිට 24 දක්වා ඕස්ට්‍රේලියාවේ Adelaide Srilanka Buddhist Viharaya හීදී සිදු කල ධර්ම දේශනා :

February 24th, 2025

Posted In:

Leave a Comment

January 13th, 2025

Posted In:

Leave a Comment

අති පුජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමියන් විසින් මැදමාවත විමුක්ති අරණ හුදකලා භාවනා මධ්‍යස්තානයේදී ආධුනිකයන් සදහා සිදුකලාවූ ධර්ම දේශනා.

 

 

 

 

« of 2 »

February 29th, 2024

Posted In:

Leave a Comment

සෑම පසළොස්වක පොහෝ දිනකදීම පැවැත්වීමට නියමිත හුදකලා භාවනා වැඩසටහන පිලිබඳ දැනුම් දීමයි.

 

  • දිනය           :  සෑම පුරපසලොස්වක දිනයකම උදේ 8.00 සිට සවස 5.00 දක්වා
  • සහභාගී වීම :  සතිපට්ඨාන භාවනා අතරින් සක්මන් භාවනාව හෝ ආනාපාන සති භාවනාව හුදකලාවම ප්‍රගුණ කරන්නන් සදහා පමණි. ආධුනිකයන් හට මෙහි අවස්ථාවක් නොමැත
  • දේශනා       :  අතිපුජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමයන් විසින් එක් අනුශාසනාවක් පමණක් පවත්වනු ලැබේ. වැඩිපුර කාලය සිය භාවනාව ප්‍රගුණ කිරීමටයි
  • දානය          :  ගිලන්පස සහ දහවල් දානය පිළිගන්වනු ලැබේ.
  • ලියාපදිංචිය :  සහභාගීවීමට බලාපොරොත්තු වන පිරිස ලියාපදිංචිවීම අනිවාර්ය වන අතර පහත කොන්දෙසිමාලාවට ද යටත්වීම අනිවාර්ය වේ.
  • විමසීම්        :  සරත් – 071 4349574
  • කොන්දේසි මාලාව : https://drive.google.com/open?id=1uh5AIp6RWfhocnKw2UaMs_QBER2X0Y1M

අති පුජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමියන් විසින් සෙනසුරාදා දිනවල චිත්ත විවේකාරාමය තුල සිදුකරනු ලබන ධර්ම දේශනා

 

February 24th, 2024

Posted In:

Leave a Comment

February 23rd, 2024

Posted In:

Leave a Comment

මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි සවස් වරුවෙහි පිණ්ඩපාතයේ යාමෙන් වැළකුණාවූ, උපස්ථාන සාලාවෙහි (ආගන්තුකාදීන්ට සත්කාරකරන ශාලාවෙහි) රැස්වී වැඩහුන්නාවූ, බොහෝ භික්ෂූන් අතරෙහි මේ අතුරු කථාව ඇතිවීය. දන්නාවූ (දැක්ක යුතු සියල්ල) දක්නාවූ, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් වඩන ලද්දාවූ, පුරුදු කරන ලද්දාවූ, කායගතා සතියක් මහත්ඵල ඇත්තීයයි මහානිසංස ඇත්තී යයි වදාරණ ලද්දේද, ඇවැත්නි, එය ආශ්චර්‍ය්‍යයකි, ඇවැත්නි, එය පුදුමයකි, යනුයි. ඒ භික්ෂූන්ගේ, මේ අතුරු කථාව අවසාන නොවූයේ වේද, එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵලසමාපත්තියෙන් නැගී සිටියේ (ආගන්තුකාදීන්ට) සත්කාර කරන ශාලාව යම් තැනෙක්හිද, එතැන්හි වැඩිසේක. වැඩ පනවන ලද ආසනයෙහි වැඩහුන් සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථාකළහ. “මහණෙනි, දැන් වනාහි කිනම් කථාවකින් යුක්තව හුන්නාහුද? ඔබලාගේ කිනම් අතුරු කථාවක් අවසන් නොවූයේ දැයි” ඇසූහ.

“ස්වාමීනි, මෙහි සවස් වරුවෙහි පිණ්ඩපාතයේ යෑමෙන් වැලකුනාවූ, උපස්ථාන ශාලාවෙහි රැස්වී හුන්නාවූත අප අතරෙහි මේ අතුරු කථාව ඇතිවිය. ‘දන්නාවූ දක්නාවූ, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ විසින් වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ, යම් මේ කායගතා සතියත් මහත්ඵල ඇත්තීයයි මහානිසංස ඇත්තීයයි වදාරණ ලද්දේ වේද, ඇවැත්නි, එය ආශ්චර්‍ය්‍යය, ඇවැත්නි, එය පුදුමය’ ස්වාමීනි, අපේ මේ කථාව අවසන් නොවූයේ විය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ වැඩිසේකැයි” කීහ.

 

භාවනා ක්‍රම 01

මහණෙනි, කෙසේ වඩන ලද, කෙසේ පුරුදු කරන ලද කායගතා සතිය මහත්ඵල වන්නීද, මහානිසංස වන්නීද, මහණෙනි, මේ ශාසනයෙහි වනයකට ගියාවූ හෝ රුක් මුලකට ගියාවූ හෝ, හිස් ගෙයකට ගියාවූ හෝ මහණතෙම අරමිණියා ගොතා, ඇඟ කෙළින් තබා සිහිය ඉදිරිපත්කොට තබාගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම හුස්ම ගනී. සිහියෙන්ම හුස්ම පිටකරයි. දිගට හුස්ම ගන්නේ හෝ දිගට හුස්ම ගන්නෙමියි දැනගනියි. දිගට හුස්ම පිටකරන්නේ හෝ දිගට හුස්ම පිටකරන්නෙමියි දැනගනියි. කොටින් හුස්ම ගන්නේ හෝ කොටින් හුස්ම ගන්නෙමියි දැනගනියි. කොටින් හුස්ම පිටකරන්නේ හෝ කොටින් හුස්ම පිටකරන්නෙමියි දැනගනියි. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමින් හුස්ම ගන්නෙමියි හික්මෙයි. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයි. ආශ්වාස ප්‍රශ්වාසයන් තුනිකරමින් හුස්ම ගන්නෙමියි හික්මෙයි. ආශ්වාස ප්‍රශ්වාසයන් තුනීකරමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයි. මෙසේ අප්‍රමාදව කෙළෙස් තවන වීරිය ඇතිව නිවන කරා යවනලද සිතැතිව වාසය කරන්නාවූ, ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරුකොට පවත්නාවූ ඊට දුවන කල්පනාවෝ වෙත්ද, ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරුවීමෙන් තමා තුළම සිත රඳා සිටියි, නැවතී හිඳියි, එකඟවෙයි. මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණතෙම කායගතා සතිය වඩයි.

 

භාවනා ක්‍රම 02

මහණෙනි, නැවතද මහණතෙම යන්නේ හෝ යන්නෙමියි දැනගනියි. සිටියේ හෝ සිටින්නෙමියි දැන ගනියි. හුන්නේ හෝ හුන්නෙමියි දැනගනියි. සැතපෙන්නේ හෝ සැතපෙන්නෙමියී දැන ගනියි. යම් මේ ලෙසකින් වනාහි ඒ මහණහුගේ කය පිහිටුවන ලද්දේ වෙයිද, ඒ ඒ ලෙසින් ඔහු දැනගනියි. මෙසේ නොපමාවූ, කෙළෙස් තවන වීරිය ඇත්තාවූ, නිවන කරා යවනලද සිතැතිව වාසය කරන්නාවූ, ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරුකොට පවත්නාවූ ඊට දුවන කල්පනාවෝ (වෙත්ද) ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ තමා තුළම සිත රඳා සිටියි, නැවතී හිඳියි. එකඟ වෙයි. මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණතෙම කායගතා සතිය වඩයි.

 

භාවනා ක්‍රම 03

මහණෙනි, නැවතද මහණතෙම ඉදිරියට යාමෙහිද ආපසු ඊමෙහිද නුවණින් මනාකොට දැන කරන්නේ වෙයි. ඉදිරිය බැලීමෙහිද අවට බැලීමෙහිද නුවණින් මනාකොට දැන කරන්නේ වෙයි. අත් පා හැකිලීමෙහිද දිගු කිරීමෙහිද නුවණින් මනාකොට දැන කරන්නේ වෙයි. පාත්‍රා, දෙපට සිවුරු, තනිපොට සිවුරු, දැරීමෙහිද නුවණින් මනාකොට දැන කරන්නේ වෙයි. කෑමෙහිද, බීමෙහිද, අවුලුපත් කෑමෙහිද, රස විඳීමෙහිද, නුවණින් මනාකොට දැන කරන්නේ වෙයි. මළමුත්‍ර පහකිරීමෙහිද නුවණින් මනා කොට දැන කරන්නේ වෙයි. යාමෙහිද, සිටීමෙහිද, හිඳීමෙහිද, නිදීමෙහිද, නිදිමැරීමෙහිද, කථාකිරීමෙහිද, කථා නොකිරීමෙහිද නුවණින් මනාකොට දැනකරන්නේ වෙයි. මෙසේ නොපමාව කෙළෙස් තවන වීරිය ඇතිව, නිවන කරා යවන ලද සිතැතිව වාසය කරන්නාවූ, ඒ මහණහුගේ යම් පඤ්ච කාමය ඇසුරුකොට පවත්නාවූ, ඊට දුවන කල්පනාවෝ වෙත්ද, ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරු වීමෙන් තමා තුළම සිත රඳා සිටියි, නැවතී හිඳියි, එකඟවෙයි, මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද කායගතා සතිය වඩයි.

 

භාවනා ක්‍රම 04

මහණෙනි, නැවතද මහණතෙම පාද තලයෙන් උඩ හිසකේ මුදුනෙන් යට හම කෙළවරකොට ඇති නානාවිධ අසූචියෙන් පිරුණාවූ, මේ කයම නුවණින් බලයි. මේ කයෙහි කෙස්, ලොම්, නිය, දත්, සම, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩුව, හෘදයමාංශය, අක්මාව, දළබුව, බඩදිව, පෙණහල්ල, බඩවැල, අතුණුබහණ, නොදිරූ ආහාරමළ, හිස්මොළය, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, මේදතෙල, කඳුලු, වුරුණු තෙල, කෙළ, සොටු, සඳමිදුලු සහ මූත්‍ර ඇත්තේය, (කියායි.) මහණෙනි, නොයෙක් ආකාරවූ ධාන්‍යයන්ගෙන් මුව දක්වා පුරවන ලද, උඩ යට දෙපැත්තෙන් කටවල් දෙකක් ඇති මල්ලක් වේද? කිනම් ධාන්‍යවලින් (පුරවන ලද මල්ලක්) ද යත්:- හැල්වී, මාවී, මුං, මෑ, තල සහ සහල් (යන මේ ධාන්‍ය වලිනි.) ඇස් ඇති පුරුෂයෙක් ඒ ධාන්‍ය පිරූ මල්ල ලිහා, මේ හැල්ය, මේ මාවීය, මේ මුංය, මේ මෑය, මේ තලය, මේ සහල් යයි යම්සේ මෙනෙහි කරන්නේ වේද, එපරිද්දෙන්ම මහණෙනි, (මහණතෙම) පාද තලයෙන් උඩ හිසකේ මුදුනෙන් යට හම කෙළවරකොට ඇති, නානාවිධ අසුචියෙන් පිරුණාවූ, මේ කයම නුවණින් බලයි. මේ කයෙහි කෙස්, ලොම්, නිය, දත්, සම, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩුව, හෘදය මාංශය, අක්මාව, දළබුව, බඩදිව, පෙණහල්ල, බඩවැල, අතුණු බහණ, නොදිරූ ආහාර, මළ, හිස්මොළය, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, මේදතෙල, කඳුලු, වුරුණු තෙල්, කෙළ, සොටු, සඳමිදුලු, සහ මූත්‍ර ඇත්තේය. (කියයි.) මෙසේ නොපමාව කෙළෙස් තවන වීරිය ඇතිව, නිවන කරා යවන ලද සිතැතිව වාසය කරන්නාවූ ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරුකොට පවත්නාවූ ඊට දුවන කල්පනාවෝ වෙත්ද, ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරුවීමෙන් තමා තුළම සිත රඳාසිටියි. නැවතී හිඳියි. එකඟවෙයි. මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණතෙම කායගතා සතිය වඩයි.

                                        

භාවනා ක්‍රම 05

මහණෙනි, නැවතද මහණතෙම යම් ඉදිරියව්වකින් සිටියාවූ යම් ආකාරයකින් තබනලද්දාවූ, මේ කයම ධාතු වශයෙන් නුවණින් සිහි කරන්නේය. (කෙසේද) මේ කයෙහි “පඨවි” ධාතුව ඇත්තේය. ආපෝධාතුව ඇත්තේය. තේජෝ ධාතුව ඇත්තේය. වායෝ ධාතුව ඇත්තේය. (කියයි.) මහණෙනි, යම්සේ දක්ෂවූ ගවයන් මරන්නෙක් හෝ ගවයන් මරවන්නෙකගේ අතවැසියෙක් හෝ ගවයකු මරා සතර මං සන්ධියක කොටස් වශයෙන් වෙන් වෙන්කොට බෙදා උන්නේ වේද, මහණෙනි, එමෙන් මහණතෙම යම් ඉරියව්වකින් සිටියාවූ යම් ආකාරයකින් තබන ලද්දාවූ මේ කයම ධාතුවශයෙන් සිහි කරන්නේය. මේ කයෙහි පඨවි ධාතුව ඇත්තේය. ආපෝ ධාතුව ඇත්තේය. තේජෝ ධාතුව ඇත්තේය. වායෝ ධාතුව ඇත්තේය. (කියායි) මෙසේ නොපමාව කෙළෙස් තවන වීරිය ඇතිව, නිවන කරා යවන ලද සිතැතිව වාසය කරන්නාවූ ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරුකොට පවත්නාවූ ඊට දුවන කල්පනාවෝ වෙත්ද, ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරුවීමෙන් තමා තුළම සිත රඳා සිටියි. නැවතී හිඳියි. එකඟවෙයි. මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණතෙම කායගතා සතිය වඩයි.

 

භාවනා ක්‍රම 06

මහණෙනි, නැවතද මහණතෙම මැරී එක් දවසක් ගියාවූ හෝ දෙදවසක් ගියාවූ හෝ තුන් දවසක් ගියාවූ හෝ ඉදිමුණාවූ, නිල්වූ, සැරව වැගිරෙන්නාවූ අමුසොහොනෙහි දමනලද ශරීරයක් යම්සේ දක්නේද, ඒ මහණතෙම මේ කය ඒ හා සමාන කර බලන්නේය. (කෙසේද) මේ කයද, මෙබඳු ස්වභාව ඇත්තේය. මේ ස්වභාවයට පැමිණෙන්නේය. මේ ස්වභාව නොයික්ම සිටියේය. (කියයි) මෙසේ නොපමාව කෙළෙස් තවන වීරිය ඇතිව, නිවන කරා යවන ලද සිතැතිව වාසය කරන්නාවූ, ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරු කළාවූ ඊට දුවන කල්පනාවෝ වෙත්ද, ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරුවීමෙන් තමා තුළම සිත රැඳී සිටියි, නැවතී හිඳියි, එකඟවෙයි, මොනවට පිහිටයි. මහණෙනි, මෙසේ මහණතෙම කායගතා සතිය වඩයි.

භාවනා ක්‍රම 07

මහණෙනි, නැවතද මහණතෙම කපුටන් විසින් කනු ලබන්නාවූ හෝ උකුස්සන් විසින් කනු ලබන්නාවූ හෝ ගිජුලිහිණියන් විසින් කනු ලබන්නාවූ හෝ බල්ලන් විසින් කනු ලබන්නාවූ හෝ හිවලුන් විසින් කනු ලබන්නාවූ හෝ නොයෙක ප්‍රාණීන් විසින් කනු ලබන්නාවූ හෝ ශරීරයක් යම්සේ දක්නේද, ඒ මහණතෙම මේ මළ කයම තම කය හා සමාන කරන්නේය. (කෙසේද) මෙ කයද, මෙබඳු ස්වභාවය ඇත්තේය. මෙබඳු ස්වභාවයට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොයික්ම සිටින්නේය. (කියායි) මෙසේ නොපමාව කෙළෙස් තවන වීරිය ඇතිව නිවන කරා යවන ලද සිතැතිව වාසය කරන්නාවූ ඒ මහණහුගේ යම් පඤ්චකාමය ඇසුරු කළාවූ ඊට දුවන කල්පනාවෝ (වෙත්ද) ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරුවීමෙන් තමා තුළම සිත රැඳී සිටි. නැවතී හිඳියි. එකඟ වෙයි. මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණතෙම කායගතා සතිය වඩයි.

 

භාවනා ක්‍රම 08

මහණෙනි, නැවතද මහණතෙම ලේ මස් සහිතවූ නහර වැලින් බැඳුනාවූ ඇටසැකිල්ලක්ද මස් නැති ලේ තැවරුණු, නහරින් බැඳුනු ඇටසැකිල්ලක්ද මස් ලේ පහවූ නහර වලින් බැඳුනු, ඇටසැකිල්ලක්ද (නහර) සම්බන්ධයෙන් වෙන්වූ, එක දිසාවක පා ඇටද එක් දිසාවක කෙණ්ඩා ඇටද එක් දිසාවක කලවා ඇටද, එක් දිසාවක කටි ඇටද, එක් දිසාවක පිටකටුද, එක් දිසාවක හිස් කබලද ඇත්තාවූ, දිශා අනු දිසාවන්හි විසුරුණු ඇට කැබලි ඇත්තාවූ, අමු සොහොනෙහි දමන ලද ශරීරයක් යම්සේ දක්නේද, ඒ මහණතෙම මේ මළ කයම තම කය හා සමාන කරන්නේය. (කෙසේද) මේ කයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවයට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොයික්ම සිටියේය. (කියායි). මෙසේ නොපමාව කෙළෙස් තවන වීරිය ඇතිව නිවන කරා යවන ලද සිතැතිව, වාසය කරන්නාවූ ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරු කළාවූ ඊට දුවන කල්පනාවෝ (වෙත්ද) ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරුවීමෙන් තමා තුළම සිත රැඳී සිටියි. නැවතී හිඳියි. එකඟ වෙයි. මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණතෙම කායගතා සතිය වඩයි.

  

භාවනා ක්‍රම 09

මහණෙනි, නැවතද මහණතෙම හක්ගෙඩියක් පාටට සමාන ස්වභාව ඇති සුදුවූ ඇට ඇත්තාවූ, ඇට ගොඩක්වූ, අවුරුදු ගණනක් ඉකුත්වූ, පිළිකුල්වූ, සුණුවූ ඇට ඇත්තාවූද අමුසොහොනෙහි දමන ලද ශරීරයක් යම්සේ දක්නේද ඒ මහණතෙම මේ මළ කයම තම කය හා සමාන කරන්නේය. (කෙසේද) මේ කයද මෙබඳු ස්වභාව ඇත්තේය මෙබඳු ස්වභාවයට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොයික්ම සිටියේය. (කියායි.) මෙසේ නොපමාව, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, නිවන කරා යවන ලද සිතැතිව, වාසය කරන්නාවූ ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරුකළාවූ ඊට දුවන කල්පනාවෝ (වෙත්ද) ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරුවීමෙන් තමා තුළම සිත රැඳී සිටියි. නැවතී හිඳියි. එකඟ වෙයි. මොනවට පිහිටයි. මහණෙනි, මෙසේද මහණතෙම කායගතා සිහිය වඩයි.

 ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි

මහණෙනි, නැවතද මහණතෙම කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත විචාර සහිත, විවේකයෙන් උපන් ප්‍රීතිය සහ සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඒ මහණතෙම මේ කයම විවේකයෙන් උපන් ප්‍රීතියෙන් සහ සැපයෙන් තෙමයි, වගුරුවයි, පුරවයි, පතුරුවයි, ඔහුගේ මුළු කයේ විවේකයෙන් උපන් ප්‍රීතිය සහ සැපය නොපැතුරුණු කිසි තැනෙක් නොවන්නේය. මහණෙනි, යම්සේ දක්ෂ නහවන්නෙක් හෝ නහවන්නෙකුගේ අතවැසියෙක් හෝ ලෝහ තලියෙහි නහන කල්ක බහා දියෙන් තෙම තෙමා මිශ්‍රකොට හනන්නේය. ඔහුගේ ඒ නාන සුණු පිඩ තෙතමනේ යුක්තවූයේ, තෙතමනෙන් බැඳුණේ ඇතුළත සහ පිටත පැතිරෙන ලද්දේ වේද, නොවැගිරෙන්නේ වේද, එසේම මහණෙනි,

මහණතෙම මේ කයම විවේකයෙන් උපන් ප්‍රීතියෙන් සහ සැපයෙන් තෙත් කරයි, වගුරුවයි, පුරවයි, පතුරුවයි, ඔහුගේ මුළු කයේ විවේකයෙන් උපන් ප්‍රීතිය සහ සැපය නොපැතුරුණු කිසි තැනක් නොවන්නේය. මෙසේ නොපමාව කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව නිවන කරා යවන ලද සිතැතිව වාසය කරන්නාවූ ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරු කළාවූ ඊට දුවන කල්පනාවෝ ආශාවෝ වෙත්ද, ඒවා දුරු වෙත්. ඔවුන්ගේ දුරුවීමෙන් තමා තුළම සිත බැඳී සිටියි. නැවතී හිඳියි. එකඟ වෙයි. මනාව පිහිටයි, මහණෙනි, මෙසේද මහණතෙම කායගතා සිහිය වඩයි.

දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි.

මහණෙනි, නැවතද මහණතෙම විතර්ක විචාරයන්ගේ සංසිඳුවීමෙන් ඇතුළත පහදන්නාවූ, සිත එකඟ කරන්නාවූ විතර්ක රහිත, විචාර රහිත, සමාධියෙන් උපන් ප්‍රීතිය සහ සැපය ඇති දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඒ මහණතෙම මේ කයම සමාධියෙන් උපන් ප්‍රීතියෙන් හා සැපයෙන් තෙමයි, වගුරුවයි, පුරවයි, පතුරුවයි. ඔහුගේ මුළු කයෙහි සමාධියෙන් උපන් ප්‍රීතිය සහ සැපය නොපැතුරුණු කිසි තැනක් නොවන්නේය.

මහණෙනි, ජලයෙන් පිරුණාවූ විලක්වේද, ඒ නැගෙන හිර දිසාවෙන්ද, ජලමාර්ගයක් නොවන්නේද, බස්නාහිර දිසාවෙන්ද, ජලමාර්ගයක් නොවන්නේද, උතුරු දිසාවෙන්ද ජල මාර්ගයක් නොවන්නේද, දකුණු දිසාවෙන්ද ජලමාර්ගයක් නොවන්නේද, වැස්සද කලින් කල මනාකොට වසින්නේවේද, ඉක්බිති ඒ දිය විලෙන්ම සිහිල් ජල ධාරාවන් මතුවී ඒ දිය විලම සිහිල් ජලයෙන් තෙමෙන්නේද, වගුරුවන්නේද, පුර වන්නේද, පතුරුවන්නේද, ඒ සියලු දිය විලේ සිහිල් දියෙන් නොපැතුරුණු කිසිතැනක් නැත්තේද මහණෙනි, එපරිද්දෙන් මහණ තෙම මේ කය සමාධියෙන් හටගත් ප්‍රීතියෙන් හා සැපයෙන් තෙමයි වගුරුවයි, පුරවයි, පතුරුවයි. ඔහුගේ මුළු කයෙහි ප්‍රීතියෙන් හා සැපයෙන් නොපැතුරුණාවූ කිසි තැනක් නැත්තේය. මෙසේ නොපමාව කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, නිවනකරා යවනලද සිතැතිව වාසය කරන්නාවූ ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරු කළාවූ ඊට දුවන කල්පනාවෝ වෙත්ද, ඒවා ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරු වීමෙන් තමා තුළම සිත රැඳී සිටියි. නැවතී හිඳියි, එකඟ වෙයි, මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණ තෙම කය අනුව ගියාවූ සිහිය වඩයි.

තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරයි.

මහණෙනි, නැවතද මහණතෙම ප්‍රීතියද ඉක්මවීමෙන් උපෙක්ෂාවෙන් යුක්තව සිහියෙන් යුක්තව නුවණින් යුක්තව වාසය කරයි. කයින් සැපයද විඳියි. ආර්‍ය්‍යයෝ යම් ධ්‍යානයක් උපෙක්ෂාවෙන් යුක්ත වූයේ සිහියෙන් යුක්තවූයේ සැපවිහරණ ඇත්තේයයි කියත්ද, ඒ තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මේ කයම ප්‍රීතිය රහිත සැපයෙන් තෙමෙන්නේය. වගුරුවන්නේය, පුරවන්නේය. පතුරු වන්නේය. ඔහුගේ මුළු කයේ ප්‍රීතිය රහිත සැපය නොපැතුරුණු කිසිම තැනක් නොවෙයි. මහණෙනි, යම්සේ මානෙල් විලක හෝ පියුම් විලක හෝ හෙළ පියුම් විලක හෝ දියෙහි හටගත්, දියෙහි වැඩුණු, දිය අනුව උස්වූ ඇතුලෙහි ගිලී වැඩෙන්නාවූ, කිසියම් උපුල් හෝ පියුම් හෝ හෙළ පියුම් හෝ (වෙත්ද) ඒවා අගසිට මුල දක්වාත් මුල සිට අග දක්වාත් සිසිල් දියෙන් තෙමුණාහූ, වැගුරුණාහු, පිරුණාහු, පැතුරුනාහු වෙත්ද. ඒ සියලු උපුල්වල හෝ පියුම්වල හෝ හෙළ පියුම් වල හෝ සිසිල් දිය නොපැතුරුණු කිසිම තැනක් නොවන්නේය. මහණෙනි, එසේම මහණතෙම මෙම කයම ප්‍රීතිය රහිත සැපයෙන් තෙමයි, වගුරයි, පුරවයි, පතුරුවයි. ඔහුගේ මුළු කයේ ප්‍රීතිය රහිත සැපය නොපැතුරුණු කිසි තැනක් නොවෙයි. මෙසේ නොපමාව කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, නිවණ කරා යවනලද සිතැතිව වාසය කරන්නාවූ ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරු කළාවූ ඊට දුවන්නාවූ කල්පනාවෝ වෙත්ද, ඒවා දුරු වෙත්. ඔවුන්ගේ දුරු වීමෙන් තමා තුළම සිත රැඳී සිටියි, නැවතී හිඳියි, එකඟ වෙයි, මනා කොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණ තෙම කය අනුව ගියාවූ සිහිය වඩයි.

සතර වන ධ්‍යානයට පැමිණ වාසය කරයි.

මහණෙනි, නැවත මහණ තෙම සැපයද නැති කිරීමෙන් දුකද නැති කිරීමෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන් දුක් නැත්තාවූද, සැප නැත්තාවූද උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසුදු බැව් ඇති, සතර වන ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඒ මහණතෙම මේ කයම පිරිසිදුවූ, හාත්පස පිරිසිදුවූ සිතින් පතුරුවා හුන්නේ වෙයි. ඔහුගේ මුළු කයේ පිරිසිදුවූ හාත්පස පිරිසිදුවූ, සිත නොපැතුරුණු කිසි තැනක් නොවන්නේය. මහණෙනි, යම් පුරුෂයෙක් සුදු රෙද්දකින් හිස සහිතව පොරොවාගෙන හුන්නේ වේද, ඔහුගේ මුළු කයේ සුදුරෙද්ද නොපැතුරුණු කිසි තැනක් නැත්තේ වේද, මහණෙනි, එසේම හෙතෙම මෙම කයම පිරිසිදුවූ, හාත්පස පිරිසිදුවූ, සිතින් පතුරුවා හුන්ගේ මුළු කයේ පිරිසිදුවූ, හාත්පස පිරිසිදුවූ, සිත නොපැතුරුණු කිසිතැනක් නොවෙයි. මෙසේ නොපමාව, කෙළෙස් තවන වීරිය ඇතිව නිවන කරා යවන ලද සිතැතිව, වාසය කරන්නාවූ, ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරු කළාවූ ඊට දුවන කල්පනාවෝ වෙත්ද, ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරුවීමෙන් තමා තුළම සිත රැඳී සිටියි නැවතී හිඳියි, එකඟ වෙයි. මනා කොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණතෙම කය අනුව ගියාවූ සිහිය වඩයි.

මාර තෙම ඔහුගේ කෙළෙස් ඉපදීමට හේතු නොදකියි.

 

උපමා 01

මහණෙනි, යම්කිසිවෙකු විසින් කායගතා සතිය වඩන ලද්දීද, පුරුදු කරන ලද්දීද, මාරතෙම ඔහුගේ සිදුරු නොදකියි. මාර තෙම ඔහුගේ කෙළෙස් ඉපදීමට හේතු නොදකියි. මහණෙනි, යම්සේ පුරුෂයෙක් සැහැල්ලුවූ නූල් ගුලියක් සියල්ල අරටුවෙන් නිමවූ, දොර පලුවක් උඩ දමන්නේද මහණෙනි, කුමක් සිතව්ද, ඒ සැහැල්ලුවූ නූල් ගුලිය සියල්ල අරටුවෙන් නිමවූ දොරපලුයෙහි සිදුරක් ලබන්නේද?” “ස්වාමීනි, එය නොවේමය.” “මහණෙනි, එසේම යම්කිසිවෙකු විසින් කායගතා සතිය වඩනලද්දීද, පුරුදු කරන ලද්දීද, ඒ මහණෙකුගේ සිදුරක් මාරයා නොලබයි. ඔහුගේ කෙලෙස් ඉපදීමට හේතුවක් මාරයා නොදකියි.

උපමා 02

මහණෙනි, යම්සේ තෙත්වූ අමු ලීයක් ඇත්තේය. ඉක්බිති පුරුෂයෙක් ගිනිගානා දණ්ඩක් ගෙන ගිනි නිපදවන්නෙමි. උණුසුම් පහළ කරන්නෙමියි එන්නේය. මහණෙනි, කුමක් සිතම්ද, ඒ පුරුෂයා මේ තෙත්වූ අමුලීය ගිනි ගානා දණ්ඩ ගෙන පිරිමැදීමෙන් ගිනි නිපද වන්නේද? උණුසුම පහළ කරන්නේද?” “ස්වාමීනි, එය නොවේ.” “මහණෙනි, මෙසේම යම් කිසිවෙකු විසින් කායගතා සතිය වඩන ලද්දීද, ඒ මහණහුගේ සිදුරක් මාරයා නොලබයි. ඔහුගේ කෙලෙස් ඉපදීමට හේතුවක් මාරයා නොදකින්නේය.

උපමා 03

මහණෙනි, යම්සේ දිය පිරුණාවූ, ගැට්ට ලඟට පිරුණාවූ කපුටකු විසින් බිය හැකි තරමට පිරුණාවූ ආධාරයෙහි (දරණුයෙහි) තබන ලද්දාවූ මහ දිය සැළියක් (වේද) ඉක්බිති පුරුෂයෙක් දිය බරක් ගෙන එන්නේය. මහණෙනි, කුමක් සිතව්ද, ඒ පුරුෂයා දිය වත් කිරීමට ලබන්නේද?” “ස්වාමීනි, එය නොවේ” “මහණෙනි, මෙසේම යම් කිසිවෙකු විසින් කායගතා සතිය වඩන ලද්දීද, ඔහුගේ සිදුරක් මාරයා නොලබයි. ඔහුගේ කෙලෙස් ඉපදීමට හේතුවක් මාරයා නොලබයි.

උපමා 04

මහණෙනි, යම් කිසිවෙකු විසින් කායගතා සතිය වඩනා ලද්දීද, බහුල කරන ලද්දීද, හෙතෙම නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කළයුතු යම් යම් ධර්මයක් වේද, එය නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස සිත නමයි. ඒ ඒ තන්හි කරුණු ඇති ඇති කල්හි ප්‍රත්‍යක්ෂ කිරීමට පැමිණෙයි. ඇති ඇති කල්හි ප්‍රත්‍යක්ෂ කිරීමට පැමිණෙයි. මහණෙනි යම්සේ පිරුණාවූ, දිය ගැට්ට ළඟට ඇත්තාවූ, කපුටකු විසින් බිය හැකි තරම් පිරුණාවූ, ආධාරයෙහි (දරුණුයෙහි තබන ලද්දාවූ, දිය සැළියක් (වේද) ඒ මේ සැළිය බලවත් පුරුෂයෙක් යම් යම් තැනකින් තමන්ගේ දිය එන්නේද?”

“එසේය, ස්වාමීනි,”

මහණෙනි, එසේම යම් කිසිවෙකු විසින් කායගතා සතිය වඩන ලද්දීද, පුරුදු කරන ලද්දීද, හෙතෙම නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කළයුතු යම් යම් ධර්මයක් වේද (එය) නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස සිත නමයි. ඒ ඒ තන්හි කරුණු ඇති ඇති කල්හි ප්‍රත්‍යක්ෂ බවට පැමිණෙයි.

“මහණෙනි, යම් බැම්මක් බඳින ලද, පිරුණාවූ ගැට්ට ලඟට දිය පිරුණාවූ කපුටකු විසින් බිය හැකි තරමට පිරුණාවූ, සමභූමියෙහිවූ, හතරැස් පොකුණක් වේද, බලවත් පුරුෂයෙක් ඒ මේ පොකුණේ යම් යම් පැත්තකින් බැම්ම බිඳින්නේ දිය එන්නේද?”

“එසේය, ස්වාමීනි,”

“මහණෙනි, එසේය යම් කිසිවෙකු විසින් කායගතා සතිය වඩන ලද්දීද, බහුල කරන ලද්දීද, හෙතෙම නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කළයුතු යම් යම් ධර්මයක් වේද, (එය) නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස සිත නමයි. ඒ ඒ තන්හි කරුණු ඇති ඇති කල්හි ප්‍රත්‍යක්ෂ බවට පැමිණෙයි.

උපමා 05

මහණෙනි, යම්සේ සතර මංසන්ධියක යහපත් තැනක කෙවිට පහත හෙළන ලද අශ්වයන් යෙදූ උතුම් රියක් (වේද) ඒ රථයට දක්ෂවූ අසුන් හික්මවන්නාවූ රියැදුරෙක් නැඟී වමතින් සම්පටිය ගෙන දකුණතින් කෙවිට ගෙන යම් කිසි කැමති තැනකට පදවන්නේද, මහණෙනි, එසේම යම් කිසිවෙකු විසින් කායගතා සතිය වඩන ලද්දීද, බහුල කරන ලද්දීද, හෙතෙම නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කළයුතු යම් යම් ධර්මයක් වේද (එය) නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස සිත නමයි. ඒ ඒ තන්හිදී කරුණු ඇති ඇති කල්හි ප්‍රත්‍යක්ෂ බවට පැමිණෙයි.

 

මහණෙනි, සේවනය කරන ලද්දාවූ වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ, යානාවක් මෙන් කරන ලද්දාවූ, පිහිටක් බවට පමුණුවන ලද්දාවූ, නැවත නැවත කරන ලද්දාවූ, පුරුදුකරන ලද්දාවූ, මනාකොට වීර්‍ය්‍යකරන ලද්දාවූ, කායගතා සතියෙහි මේ ආනිසංස දසයක් කැමතිවිය යුත්තාහ. කවර දසයක්ද යත්?

 

01 අරතිය නොඇලීමද, කාමයේ ඇල්මද මැඩපැවත්වන්නේ වෙයි.,

අරතියේ නොඇලීම නොඉවසයි, උපන් කාමයේ නො ඇල්ම මැඩ වාසයකරයි.

 

02 භයානක අරමුණු මැඩපවත්වන්නේ වෙයි. ඒ භයානක අරමුණු නොඉවසයි. උපන් භයානක අරමුණු මැඩ වාසය කරයි.

 

03 ශීතයාගේද, උෂ්ණයාගේද, සාගින්නේද, පිපාසයාගේද, මැස්සන්ගේද, මදුරුවන්ගේද, වාතයේද, අවු රශ්මියේද, සර්පයන්ගේද ස්පර්ශය ඉවසන්නේ වෙයි. නොමනාසේ කියන ලද, නපුරුකොට කියනලද, වචන ඉවසන්නේ වෙයි.

 

04 උපන්නාවූ, දුක්වූ, තියුණුවූ, කුරිරුවූ, කටුකවූ, නොමිහිරිවූ, අමනාපවූ, දිවි නසන්නාවූ, ශරීර වේදනාව ඉවසන්නෙක් වෙයි.

 

05 නොයෙක් අයුරින් යුත් ඍධිවිධි අනුභව කරයි.

පිරිසිදු සිතෙහි හටගත්තාවූ, මේ ආත්මයෙහි සැප වාසය ඇත්තාවූ, (රූපාවචර) ධ්‍යාන සතර කැමතිසේ ලබන්නේ, පහසුවෙන් ලබන්නේ, අමාරුවක් නැතිව ලබන්නේ, නොයෙක් අයුරින් යුත් ඍධිවිධි අනුභව කරයි. (විඳියි.) (කෙසේද) එකෙක්ව බොහෝසේ වෙයි. බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවටද, මුවහ බවටද අහසෙහි මෙන් බිත්තිය විනිවිද ගෙනද, පවුර විනිවිද ගෙනද, පර්වතය විනිවිද ගෙනද, නොහැපෙමින් යයි. දියෙහි මෙන් පොළොවෙහිද කිමිඳීම් මතුවීම් කරයි. පොළොවෙහි මෙන් දියෙහි, දිය නොබිඳ ගමන් කරයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද, අරමිණියා ගොතා හිඳගෙන යයි. මෙසේ මහත් ඍද්ධි ඇති, මෙසේ මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙන අතින් අතගායි, පිරිමදියි. බඹලොවතෙක් ශරීරයෙන් වසඟ බව පවත්වයි.

 

06 පිරිසිදුවූ, මිනිස් කණ ඉක්ම පැවැත්තාවූ දිව කණින් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරවූද, ලඟවූද දෙවැදෑරුම් ශබ්දයන් අසයි.

 

07 අන්‍ය සත්වයින්ගේ, අන්‍ය පුද්ගලයින්ගේ, සිත තම සිතින් පිරිසිඳ දනියි. (කෙසේද) රාග සහිත සිත රාග සහිත සිතයයි දනියි. රාග රහිත සිත රාග රහිත සිත යයි දනියි. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතයයි දනියි. ද්වේෂ රහිත සිත ද්වේෂ රහිත සිතයයි දනියි. මෝහ සහිත සිත මෝහ සහිත සිතයයි දනියි. මෝහ රහිත සිත මෝහ රහිත සිත යයි දනියි. හැකුලුනු සිත හැකුලුනු සිතයයි දනියි. මහත් බවට ගිය සිත මහත් බවට ගිය සිතයයි දනියි. මහත් බවට නොගිය සිත මහත් බවට නොගිය සිතයයි දනියි. (ලෞකික සිත්අතුරෙන්) උසස්වූ සිත (ලෞකික සිත් අතුරෙන්) උසස්වූ සිතයයි දැන ගනියි. (ලෞකික සිත් අතුරෙන්) උසස් නොවූ සිත (ලෞකික සිත් අතුරෙන්) උසස් නොවූ සිතයයි දැන ගනියි. සමාධි ගතවූ සිත සමාධිගතවූ සිත යයි දැනගනියි. සමාධිගත නොවූ සිත සමාධිගත නොවූ සිතයයි දැනගනියි. (කෙළෙසුන් කෙරෙන්) මිදුනු සිත (කෙළෙසුන් කෙරෙන්) මිදුනු සිතයයි දැනගනියි. (කෙළෙසුන් කෙරෙන්) නොමිදුනු සිත (කෙළෙසුන් කෙරෙන්) නොමිදුනු සිතයයි දැන ගනියි.

 

08 නන්වැදෑරුම්වූ පෙර විසූ තැන් සිහිකරයි.ඒ කවරේදයත්:- එක් ජාතියක්ද, ජාති දෙකක්ද ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් ජාතිලක්ෂ ගණන්ද, අසවල් තැන වූයෙම් මෙබඳු නම් ඇත්තේ, මෙබඳු ගොත්‍ර ඇත්තේ, මෙබඳු වර්ණ ඇත්තේ, මෙබඳු ආහාර ඇත්තේ, මෙබඳු සැප දුක් විඳින්නේ, මෙබඳු ආයුෂ කෙළවරකොට ඇත්තේවීමි. මම එයින් චූත වූයෙමි. අසවල් තැන උපනිමි. එහිද මෙබඳු නම් ඇත්තේවීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු සැප දුක් වින්දේ වීමි. මෙබඳු ආයුෂ කෙළවරකොට ඇත්තේ වීමි. ඒ මම එයින් චුත වූයෙම් මෙහි උපන්නෙමි. මෙසේ ආකාර සහිතව, දැක්වීම් සහිතව නානා ප්‍රකාරවූ, පෙර විසූ ආත්ම සිහිකරයි.

 

09 පිරිසිදුවූ මිනිසත් බව ඉක්මෙව්වාවූ, දිව ඇසින් බලන්නේ මැරෙන්නාවූද, උපදින්නාවූද, හීනවූද, උසස්වූද, යහපත් වර්ණ ඇත්තාවූද, දුර්වර්ණවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කම්වූ පරිදි මිය පරලොව යන්නාවූද, සත්වයන් දැනගනියි.

 

10 කෙළෙස්  රහිතවූ සමාධිය ලැබීම

කෙළෙස් (ආශ්‍රව) නැති කිරීමෙන් ආශ්‍රව රහිතවූ සමාධියෙන් මිදීමත් ප්‍රඥාවෙන් මිදීමත්, මේ ජාතියේදීම විශේෂ නුවණින් දැන, ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කරයි.

මහණෙනි, සේවනය කරන ලද්දාවූ, වඩන ලද්දාවූ, බොහෝ කරන ලද්දාවූ, යානාවක් මෙන් කරන ලද්දාවූ, පිහිටක් කරන ලද්දාවූ, නැවත නැවත කරන ලද්දාවූ, පුරුදු කරන ලද්දාවූ, වීර්‍ය්‍ය කරන ලද්දාවූ, කායගතා සතියෙහි මේ ආනිසංසයෝ දස දෙන කැමතිවිය යුත්තාහ.” මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. සතුටු සිතැති ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටුවූහ.

 

(මජ්ඣිමනිකාය -උපරිපණ්ණාසපාළි – අනුපද වග්ගය – කායගතා සති සූත්‍රය)

February 23rd, 2024

Posted In:

Leave a Comment

 

2016 සැප්තැම්බර් මස 16 – 18  වැඩසටහන සහ  2023 ජුනි මස 30 සිට ජූලි 03 වැඩසටහන

 

 

July 1st, 2023

Posted In:

Leave a Comment

  • 2023 මාර්තු මස Brisbane නුවර ශ්‍රීලංකාරාම විහාරය හීදී සිදු කල ධර්ම දේශනා මාලාව :

 

 

  • 2023 මාර්තු 31 දින සිට අප්‍රේල් 04 දක්වා ඕස්ට්‍රේලියාවේ New Castle හීදී සිදු කල භාවනා වැඩසටහන :

 

  • 2023 අප්‍රේල් 07 දින සිට 10 දක්වා ඕස්ට්‍රේලියාවේ Girl Guide Hall, Whaleback Golf Course, Whaleback Avenue, Parkwood WA6147 දී සිදු කල භාවනා වැඩසටහන :

 

  • 2023 අප්‍රේල් 22 දින සිට 25 දක්වා ඕස්ට්‍රේලියාවේ Keysborough Dhamma Sarana විහාරයේදී සිදු කල භාවනා වැඩසටහන :

 

 

  • 2023 අප්‍රේල් 28 දින සිට මැයි 01 දක්වා ඕස්ට්‍රේලියාවේ Koomail Tardy Community Centre, Truganina දී සිදු කල භාවනා වැඩසටහන :

 

  • 2023 මැයි 13 දින සිට 15 දක්වා ඕස්ට්‍රේලියාවේ Craigieburn දී සිදු කල භාවනා වැඩසටහන :

May 16th, 2023

Posted In:

Leave a Comment

මා විසින් මෙසේ අසනලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත්පුර නිග්‍රොධාරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි සර්වඥයන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පෙරවා පාත්‍රය හා සිවුරගෙන කිඹුල්වත්පුරයට පිඬු පිණිස පිවිසියහ. කිඹුල්වත්පුරයෙහි පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුනේ මහා වනය යම් තැනෙක්හිද එතැනට දහවල් වාසය පිණිස එළඹියහ. මහා වනයට වැද තරුණ බෙලි ගසක් මුල දිවාවිහරණය පිණිස වැඩහුන්හ.
දණ්ඩපාණී නම් ශාක්‍ය තෙමේද පා රුජා දුරු කර ගැනීම සඳහා සක්මන්කිරීම වශයෙන් ඇවිදින්නේ මහාවනය යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. මහා වනයට වැද තරුණ බෙලි රුක යම්තැනෙක්හිද භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ සර්වඥයන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතුවූද සිහි කටයුතු වූද කථාව කොට නිමවා සැරයටියෙහි එල්බගෙන (ඉදිරියෙහි තැබූ සැරයටි මුදුනෙහිවූ දෙ අත් පිට නිකට තබා) සිටියේය. එකත්පස්ව සිටියාවූ දණ්ඩපාණී ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. “ශ්‍රමණ තෙමේ කිනම් වාද ඇත්තෙක්ද? කිනම් වාදයක් ප්‍රකාශ කරන්නෙක්ද?”
“ඇවැත්නි, යම් බඳුවූ වාද ඇත්තෙක් දෙවියන් සහිතවූ මරුන් සහිතවූ බඹුන් සහිතවූ ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිතවූ ප්‍රජා සහිතවූ දෙව් මිනිසුන් සහිතවූ සියලු ලෝකයෙහි කිසිවෙකු හා වාද විවාද කරමින් නොසිටීද, කාමයන්ගෙන් වෙන්ව වාසය කරන්නාවූ සැක නැත්තාවූ, කුකුස් නැති කළාවූ, කුඩා මහත් භවයන් කෙරෙහි ආශා නැත්තාවූ කෙලෙස් රහිතවූ යම් ඒ බ්‍රාහ්මණයෙකු තුළ කෙලෙස් හැඟීම නොපවත්නාහුවෙත්ද, ඇවැත්නි, මම මෙබඳු වාද ඇත්තෙක් වෙමි. මෙසේ කියන්නෙක් වෙමි”යි (ප්‍රකාශ කළහ) මෙසේ කී කල්හි දණ්ඩපාණී ශාක්‍යතෙම හිස වනා දිව පිටට දමා ලෙලවා රැළි තුනක් ඇති නළල් රැළිය නළලෙහි නංවා සැරයටියෙහි එල්බගෙන ගියේය.

“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි උතුම් පල සමවතින් නැගිටියේ නිග්‍රොධාරාම විහාරය යම් තැනෙක්හිද එතැනට වැඩියහ. වැඩමවා පණවනලද ආසනයෙහි වැඩහුන්හ. වැඩහිඳ භික්ෂූන්ට මෙසේ කීහ.
“මහණෙනි, මම පෙරවරුවෙහි හැඳ පාසිවුරු ගෙන කිඹුල්වත් නුවරට පිඬු පිණිස පිවිසියෙමි. කිඹුල්වත් නුවර පිඬු පිණිස හැසිර සවස්වරුවෙහි පිණ්ඩපාතයෙන් වැළකුනේ මහා වනය යම් තැනෙක්හිද එතැනට දවල් කාලය ගතකරනු පිණිස ගියෙමි. මහවනයට වැද තරුණ බෙලිගස මුල දිවා විහරණය වශයෙන් (දහවල් හැසිරීම් වශයෙන්) හුන්නෙමි. දණ්ඩපාණී ශාක්‍ය තෙමේද පා රුජා දුරුකර ගැනීම වශයෙන් ඇවිදින්නේ, මහාවනය යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. මහාවනයට පැමිණ තරුණ බෙලිගස යම් තැනෙක්හිද, මා යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, මා සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා දණ්ඩෙහි එල්බගෙන එකත්පසක සිටියේය. මහණෙනි, එකත්පසක සිටියාවූ දණ්ඩපාණී ශාක්‍යතෙම ‘ශ්‍රමණතෙම කුමන වාද ඇත්තෙක්ද? කුමක් ප්‍රකාශ කරන්නෙක්දැ’යි මාගෙන් ඇසීය.
“ඇවැත්නි, යම්බඳු වාද ඇත්තෙක් දෙවියන් සහිතවූ මරුන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ ලෝකයෙහි ශ්‍රමණ බ්‍රහ්මණයන් සහිතවූ සත්ත්වයන් සහිතවූ ලෝකයෙහි කිසිවෙකු හා වාද විවාද කරමින් නොසිටීද, කාමයන්ගෙන් වෙන්ව වාසය කරන්නාවූ සැක නැත්තාවූ කුකුස් සින්දාවූ කුඩා මහත් භවයන් කෙරෙහි පහවූ තණ්හා ඇති යම් ඒ බ්‍රාහ්මණයකු තුළ කෙලෙස් හැඟීම් නොපවතිද්ද, ඇවැත්නි, මම එබඳු වාද ඇත්තෙක් වෙමියි කීවෙමි. මෙසේ කී කල්හි දණ්ඩපාණී ශාක්‍යතෙම හිස වනා දිව පිටට ගෙන ලෙලවා රැළි තුනක් ඇති නළල් රැළිය නළලෙහි නංවා සැරයටිය ගෙන ගියේය.”

මෙසේ කී කල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කිනම් වාදයක් ඇත්තාවූ භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිතවූ සත්ත්වයන් සහිත ලෝකයෙහි කිසිවෙකු හා වාද විවාද කරමින් නොසිටින්නහුද?
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කෙසේ නම් කෙලෙසුන්ගෙන් වෙන්ව වාසය කරන්නාවූ, සැක නැත්තාවූ කුකුස් සින්දාවූ කුඩා මහත් භවයන් කෙරෙහි පහවූ තණ්හා ඇති ඒ බ්‍රාහ්මණයා තුළ කෙලෙස් හැඟීම් අනුශය වශයෙන් නොපවත්නාහුද?”
“මහණ, යමක් හේතුකොටගෙන තෘෂ්ණා දෘෂ්ටියයි කියන ලද ප්‍රමාදයට හේතුවූ බැවින් ප්‍රපඤ්ච නම් ධර්මයෝ පුරුෂයා කෙරෙහි පවතිත්ද, ඒ හේතූන් වන දොළොස් ආයතනයන් කෙරෙහි ඉදින් සතුටු වියයුත්තක් නැත්තේද, මමය මාගේයයි කිවයුත්තක් නැත්තේද, ගැලිය යුත්තක් නැත්තේද, එයම රාගානුසයයන්ගේ කෙළවර වන්නේය. එයම පටිඝානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම දිට්ඨානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම විචිකිච්ඡානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම මානානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම භවරාගානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම අවිජ්ජානුසයයන්ගේ කෙළවර වන්නේය, දඬු මුගුරු ගැනීමය, ආයුධ ගැනීමය, කෝලාහල කිරීමය, විරුද්ධව කථා කිරීමය, තා තෝ කියා බැණීමය, කේලාම් කීමය, බොරු කීමය යන මේ අකුසලයන්ගේද කෙළවර වන්නේය. මේ දොළොස් ආයතනයන් කෙරෙහි ලාමකවූ මේ අකුසල ධර්මයෝ ඉතිරි නොවී විනාශ වෙත්” භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ මෙසේ වදාරා සුගතයන් වහන්සේ උන් ආසනයෙන් නැගිට විහාරයට වැඩියහ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් ඒ භික්ෂූන්ට මේ අදහස පහළ විය.
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව අපට කොටින් දේශනා කොට විස්තර වශයෙන් අර්ථය ප්‍රකාශ නොකොට උන් ආසනයෙන් නැගිට විහාරයට වැඩියහ.
“මහණ, යමක් හේතුකොටගෙන තෘෂ්ණා දෘෂ්ටියයි කියන ලද ප්‍රමාදයට හේතුවූ බැවින් ප්‍රපඤ්ච නම් ධර්මයෝ පුරුෂයා කෙරෙහි පවතිත්ද, ඒ හෙතූන් වන දොළොස් ආයතනයන් කෙරෙහි ඉදින් සතුටු වියයුත්තක් නැත්තේද, මමය මාගේයයි කිවයුත්තක් නැත්තේද, ගැලිය යුත්තක් නැත්තේද, එයම රාගානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම පටිඝානුසයයන්ගේ කෙළවර වන්නේය. එයම දිට්ඨානුසයයන්ගේ කෙළවර වන්නේය එයම විචිකිච්ඡානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම මානානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම භවරාගානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම අවිජ්ජානුසයයන්ගේ කෙළවර වන්නේය. දඬු මුගුරු ගැනීමය, ආයුධ ගැනීමය, කෝලාහල කිරීමය, විරුද්ධව කථාකිරීමය, තා තෝ කියා බැණීමය, කේලාම් කීමය, බොරු කීමය යන මේ අකුසලයන්ගේද කෙළවර වන්නේය. මේ දොළොස් ආයතනයන් කෙරෙහි ලාමකවූ මේ අකුසල ධර්මයෝ ඉතිරි නොවී විනාශ වෙත්” යයි භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් දේශනා කළාවූ විස්තර වශයෙන් අර්ථය නොබෙදුවාවූ මේ දේශනාවේ අර්ථය කවරෙක් විස්තර වශයෙන් බෙදා දක්වන්නේද? (කියායි)
ඉන්පසු ඒ භික්ෂූන්ට මේ අදහස ඇති විය ‘මේ ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ ශාස්තෲන් වහන්සේ විසින් වර්ණනා කරන ලද්දේමය. නුවණ ඇත්තාවූ සමාන බ්‍රහ්මචර්යා ඇත්තවුන් විසින් ගරු කරන ලද්දේය. ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ මේ කොටින් දේශනාකළාවූ විස්තර වශයෙන් අර්ථය නොබෙදුවාවූ දේශනාවේ අර්ථය බෙදා ප්‍රකාශ කරන්ට සමර්ථ වෙත්. අපි ආයුෂ්මත් මහා කෘත්‍යායන ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතැනට යන්නෙමු නම් ඉතා යෙහෙක. එසේ පැමිණ, ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේගෙන් මේ කාරණය අසන්නෙමු” (කියායි.)
ඉන්පසු ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ, ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වූහ, සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එක පැත්තක උන්නාවූ ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේට මෙසේ කීවාහුය. “ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්ස මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ අපට කොටින් දේශනාකොට විස්තර වශයෙන් අර්ථය නොබෙදා උන් ආසනයෙන් නැගිට විහාරයට වැඩියහ.
“මහණ, යමක් හේතුකොට ගෙන තෘෂ්ණා ද්ෂ්ටියයි කියනලද ප්‍රමාදයට හේතුවූ බැවින් ප්‍රපඤ්ච නම් ධර්මයෝ පුරුෂයා කෙරෙහි පවතිත්ද, ඒ හෙතූන් වන දොළොස් ආයතනයන් කෙරෙහි ඉදින් සතුටු වියයුත්තක් නැත්තේද, මෙය මාගේයයි කිවයුත්තක් නැත්තේද, ගැලිය යුත්තක් නැත්තේද, එයම රාගානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම පටිඝානුසයයන්ගේ කෙළවර වන්නේය. එයම දිට්ඨානුසයයන්ගේ කෙළවර වන්නේය. එයම විචිකිච්ඡානුසයයන්ගේ කෙළවර වන්නේය. එයම මානානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම භවරාගානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම අවිජ්ජානුසයයන්ගේ කෙළවර වන්නේය දඬු මුගුරු ගැනීමය, ආයුධ ගැනීමය, කෝලාහල කිරීමය. විරුද්ධව කථා කිරීමය, තා තෝ කියා බැණීමය, කේලාම් කීමය, බොරු කීමය යන මේ අකුසලයන්ගේද කෙළවර වන්නේය. මේ දොළොස් ආයතනයන් කෙරෙහි ලාමකවූ මේ අකුසල ධර්මයෝ ඉතිරි නොවී විනාශ වෙත්ය’යි (වදාළේය.)
“ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වැඩිය ටික වේලාවකින් ඒ අපට මේ අදහස විය.
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව කොටින් දේශනා කොට විස්තර වශයෙන් අර්ථය ප්‍රකාශ නොකොට උන් ආසනයෙන් නැගිට විහාරයට වැඩියහ.
‘මහණ, යමක් හේතුකොට ගෙන තෘෂ්ණා දෘෂ්ටියයි කියන ලද ප්‍රමාදයට හේතුවූ බැවින් ප්‍රපඤ්ච නම් ධර්මයෝ පුරුෂයා කෙරෙහි පවතිත්ද, ඒ හෙතූන් වන දොළොස් ආයතනයන් කෙරෙහි ඉදින් සතුටුවිය යුත්තක් නැත්තේද, මෙය මාගේයයි කිවයුත්ක් නැත්තේද, ගැලිය යුත්තක් නැත්තේද, එයම රාගානුසයයන්ගේ කෙළවර වන්නේය. එයම පටිඝානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම දිට්ඨානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම විචිකිච්ඡානුසයයන්ගේ කෙළවර වන්නේය. එයම මානානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම භවරාගානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම අවිජ්ජානුසයයන්ගේ කෙළවර වන්නේය. දඬු මුගුරු ගැනීමය, ආයුධ ගැනීමය, කෝලාහල කිරීමය, විරුද්ධව කථා කිරීමය, තා තෝ කියා බැණීමය, කේලාම් කීමය, බොරු කීමය යන මේ අකුසලයන්ගේද කෙළවර වන්නේය. මේ දොළොස් ආයතනයන් කෙරෙහි ලාමකවූ මේ අකුසල ධර්මයෝ ඉතිරි නොවී විනාශ වෙත්ය’යි (වදාළේය.)
“ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වැඩිය ටික වේලාවකින් ඒ අපට මේ අදහස විය.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් දේශනා කළාවූ, විස්තර වශයෙන් අර්ථය නොබෙදුවාවූ මේ දේශනාවේ අර්ථය කවරෙක් විස්තර වශයෙන් බෙදා දක්වන්නේද (කියායි) එසේ සිතූ පසු ඒ අපට මේ අදහස ඇතිවිය. මේ ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ ශාස්තෲන් වහන්සේ විසින් වර්ණනා කරන ලද්දේමය. නුවණ ඇත්තාවූ, සමාන බ්‍රහ්මචරියා ඇත්තවුන් විසින් ගරුකරන ලද්දේය. ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ මේ කොටින් දේශනාකළාවූ විස්තර වශයෙන් අර්ථය නොබෙදුවාවූ මේ දේශනාවේ අර්ථය බෙදා ප්‍රකාශ කරන්ට සමර්ථ වෙයි. අපි යම් හේතුවකින් ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතැනට යන්නෙමු නම් ඉතා යෙහෙක. එසේ පැමිණ, ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේගෙන් මේ කාරණය අසන්නෙමු”යි (කියායි)
“ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්ස, මෙය විස්තර කරනු මැනවි.”

“ඇවැත්නි, යම්සේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූ, අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ පුරුෂයෙක් පවත්නාවූ අරටුව ඇති මහ ගසක මුල ඉක්මවා කඳ ඉක්මවා කොල අතුවල අරටුව සෙවිය යුතුයයි සිතන්නේද, එසේ මේ උපමාව ආයුෂ්මතුන්ට සුදුසුය.
“ශාස්තෲන් වහන්සේ ඉදිරිපිට සිට ඒ භාග්‍යවතුන් වහන්සේ ඉක්මවා අපගෙන් ඇසිය යුතුයයි සිතව්ද?
“ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ දතයුත්ත දන්නාහ. දැක්කයුත්ත දකින්නාහ. ඇස් ඇති බවට පැමිණියෝය. ධර්මය බවට පැමිණියෝය. බ්‍රහ්ම (උසස්) බවට පැමිණියෝය. ධර්මය කියන්නෝය. ධර්මය පවත්වන්නෝය. අර්ථය පිටතට ගෙන දක්වන්නෝය. අමෘතය (නිවණ) දෙන්නෝය. තථාගතයන් වහන්සේ ධර්ම ස්වාමිය, (එහෙයින්) මේ ප්‍රශ්නය ඇසීමට සුදුසු කාලයම විය. යම් හේතුවකින් භාග්‍යවතුන් වහන්සේගෙන්ම මේ කාරණය ඇසුවාහු නම් යම්සේ තොපට භාග්‍යවතුන් වහන්සේ විස්තර කරන්නාහුද එසේ එය දරාගනිව්”යි (කීය.)
“ආයුෂ්මත් කාත්‍යායන ස්ථවිරයෙනි, ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ දතයුත්ත දන්නාහ, දැක්කයුත්ත දකින්නාහ, ඇස් ඇති බවට පැමිණියහ, ඤාණය බවට පැමිණියහ, ධර්මය බවට පැමිණියහ, බ්‍රහ්ම බවට පැමිණියහ, ධර්මය කියන්නෝය, ධර්මය පවත්වන්නෝය, අමෘතය (නිවණ) දෙන්නෝය. තථාගත තෙම ධර්මස්වාමිය (එහෙයින්) මේ ප්‍රශ්නය ඇසීමට සුදුසු කාලය වේ. යම් හේතුවකින් භාග්‍යවතුන් වහන්සේගෙන් මේ කාරණය ඇසුවෙමු නම් යම්සේ අපට භාග්‍යවතුන් වහන්සේ විස්තර කරන සේක්ද එසේ එය දරාගනිමු.
“ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයෙනි, එසේද වුවත් ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසින්ද වර්ණනා කරන ලද්දේය. නුවණ ඇත්තාවූ සමාන බ්‍රහ්මචාරීන් විසින් ගරු කරන ලද්දේය. එබැවින් භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් දේශනා කරන ලද අර්ථය විස්තර නොකරන ලද දේශනාවෙහි අර්ථය විස්තර කිරීමට ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ සමර්ථ වන්නේය, ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්ස, බැරෑරුම්කොට නොසලකා විස්තර කරනු මැනවි.”
“ඇවැත්නි, එසේනම් කියන්නෙමි. අසව්, හොඳින් සිහි කරව්”යි කීහ. “එසේය. ආයුෂ්මතුනි”යි, ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළහ.

“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ යමක් කොටින් දේශනා කොට අර්ථය විස්තර නොකොට උන් ආසනයෙන් නැගිට විහාරයට වැඩියාහුද,
“මහණ, යමක් හේතු කොටගෙන තෘෂ්ණා දෘෂ්ටියයි කියනලද ප්‍රමාදයට හේතුවූ බැවින් ප්‍රපඤ්ච නම් ධර්මයෝ පුරුෂයා කෙරෙහි පවතිත්ද, ඒ හේතූන් වන දොළොස් ආයතනයන් කෙරෙහි ඉදින් සතුටු විය යුත්තක් නැත්තේද, මමය මාගේ යයි කිව යුත්තක් නැත්තේද, ගැලිය යුත්තක් නැත්තේද, එයම රාගානුසයයන්ගේ කෙළවර වන්නේය. එයම පටිඝානුසයයන්ගේ කෙළවර වන්නේය. එයම දිට්ඨානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම විචිකිච්ඡානුසයයන්ගේ කෙළවර වන්නේය. එයම මානානුසයයන්ගේ කෙළවර වන්නේය. එයම භවරාගානුසයයන්ගේ කෙළවර වන්නේය. එයම අවිජ්ජානුසයයන්ගේ කෙළවර වන්නේය. දඬු මුගුරු ගැනීමය, ආයුධ ගැනීමය, කෝලාහල කිරීමය, විරුද්ධව කථා කිරීමය, තා, තෝ, කියා බැණීමය, කේලාම් කීමය, බොරු කීමය යන මේ අකුශලයන්ගේද කෙළවර වන්නේය. මේ දොළොස් ආයතනයන් කෙරෙහි ලාමකවූ මේ අකුසල ධර්මයෝ ඉතිරි නොවී විනාශ වෙත්.”
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් දේශනා කරනලද, අර්ථය විස්තර නොකරන ලද ඒ දේශනාවෙහි අර්ථ විස්තරය මෙසේ දනිමි.
“ඇවැත්නි, ඇසනිසාද, රූපය නිසාද, චක්ඛුවිඤ්ඤාණය (රූපය දැනගන්නා සිත) උපදී. ඒ තුන එක්වීමෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශය හේතුකොට ගෙන වේදනාව (විඳීම) වෙයි. යම් අරමුණක් වේදනාවෙන් විඳී ද එම අරමුණම සංඥාවෙන් අඳුනයි. යම් අරමුණක් අඳුනාද එම අරමුණම විතර්කයෙන් කල්පනා කරයි. යම් අරමුණක් විතර්කයෙන් කල්පනා කරයිද එම අරමුණම තණ්හා දිට්ඨි වශයෙන් සත්ත්වයා ප්‍රමාදකරයි. ඒ චක්ඛුරූපාදිය මුල්කාරණය කොට තෘෂ්ණාදෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයෝ අතීත අනාගත වර්තමානවූ ඇසින් බලා දතයුතුවූ රූපයන් කෙරෙහි පුරුෂයා යටත් කරත්.
“ඇවැත්නි, කණ නිසාද, ශබ්දය නිසාද, සොතවිඤ්ඤාණය (ශබ්දය දැනගන්නා සිත) උපදී, ඒ තුන එක්වීමෙන් ස්පර්ශය ඇතිවෙයි ස්පර්ශය හේතුකොටගෙන වේදනාව (විඳීම) වෙයි. යම් අරමුණක් විඳීද එම අරමුණ අඳුනයි යම් අරමුණක් අඳුනයිද එම අරමුණ විතර්කයෙන් කල්පනා කරයි. යම් අරමුණක් කල්පනා කරයිද එය තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් සත්ත්වයා ප්‍රමාද කරයි. ඒ කණ ශබ්ද ආදිය මුල්කාරණය කොට ඇති තෘෂ්ණාදෘෂ්ටි ප්‍රපඤ්චධර්මයෝ අතීත අනාගත වර්තමානවූ කණින් අසා දතයුතුවූ ශබ්දයන් නිසා පුරුෂයා යටත් කරත්.
“ඇවැත්නි, නාසය නිසාද, ගන්ධය (ගඳ සුවඳ) නිසාද ඝාණ විඤ්ඤාණය (ගඳ සුවඳ දැනගන්නා සිත) උපදියි. ඒ තුන එක්වීමෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශය හේතුකොටගෙන වේදනාව වෙයි, යම් අරමුණක් විඳීද එය අඳුනයි. යම් අරමුණක් අඳුනයිද එය කල්පනා කරයි. යම් අරමුණක් කල්පනා කරයිද එය තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් සත්ත්වයා ප්‍රමාද කරයි. ඒ නාසය ගන්ධය ආදිය මුල්කාරණය කොට ඇති තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයෝ අතීත අනාගත වර්තමානවූ නාසයෙන් විඳ දත යුතුවූ ගන්ධයන් නිසාද පුරුෂයා යටත් කරත්.
“ඇවැත්නි, දිව නිසාද, රසය නිසාද, ජීව්හාවිඤ්ඤාණය (රස දැන ගන්නා සිත) උපදියි. ඒ තුන එක්වීමෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශය හේතුකොටගෙන වේදනාව වෙයි. යම් අරමුණක් විඳීද එය අඳුනයි යම් අරමුණක් අඳුනයිද එය කල්පනා කරයි, යම් අරමුණක් කල්පනා කරයිද එය තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් සත්ත්වයා ප්‍රමාද කරයි. ඒ දිව රසය ආදිය මුල් කාරණය කොට ඇති තෘෂ්ණාදෘෂ්ටි ප්‍රපඤ්චධර්මයෝ අතීත අනාගත වර්තමානවූ දිවෙන් විඳ දතයුතුවූ රසයන් නිසා පුරුෂයා යටත් කරත්.
“ඇවැත්නි, ශරීරය නිසාද, ස්පර්ශය නිසාද, කායවිඤ්ඤාණය (ස්පර්ශය දැනගන්නා සිත) උපදී. ඒ තුන එක්වීමෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශය හේතුකොටගෙන විඳීම වෙයි යම් අරමුණක් විඳීද එය අඳුනයි. යම් අරමුණක් අඳුනයිද එය කල්පනා කරයි. යම් අරමුණක් කල්පනා කරයිද එය තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් සත්ත්වයා ප්‍රමාද කරයි. ඒ ශරීරය ස්පර්ශය ආදිය මුල් කාරණය කොට ඇති තණ්හා දෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයෝ අතීත අනාගත වර්තමානවූ ශරීරයෙන් විඳ දතයුතුවූ ස්පර්ශයන් නිසා පුරුෂයා යටත් කරත්.
“ඇවැත්නි, සිත නිසාද, ධර්ම අරමුණු නිසාද, මනො විඤ්ඤාණය (ධර්ම අරමුණු දැනගන්නා සිත) උපදියි. ඒ තුන එක්වීමෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශය හේතුකොටගෙන විඳීම වෙයි. යම් අරමුණක් විඳීද එය අඳුනයි, යම් අරමුණක් අඳුනයිද, එය කල්පනාකරයි. යම් අරමුණක් කල්පනා කරයිද, එය තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් සත්ත්වයා ප්‍රමාදකරයි. ඒ සිත ධර්ම අරමුණු ආදිය මුල්කාරණය කොට ඇති තෘෂ්ණාදෘෂ්ටි ප්‍රපඤ්චධර්මයෝ අතීත අනාගත වර්තමානවූ සිතින් සිතා දතයුතුවූ ධර්ම අරමුණු නිසා පුරුෂයා යටත් කරත්.
“ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙම ඇස ඇති කල්හි රූපයන් ඇති කල්හි චක්ඛුවිඤ්ඤාණය (රූප දැනගන්නා සිත) ඇතිකල්හි ස්පර්ශයයයි පැනවීමක් පනවන්නේය. යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි) ස්පර්ශයයි පැනවීමක් ඇති කල්හි වේදනාව යයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි) වේදනාවයයි පැනවීමක් ඇතිකල්හි සංඥාවයයි පැනවීමක් පනවන්නේය. යම මේ කාරණය විද්‍යමාන වෙයි. සංඥාවයයි පැනවීමක් ඇති කල්හි කල්පනා කිරීමයයි පැනවීමක් පනවන්නේය. යන මේ කාරණය විද්‍යමාන වෙයි. කල්පනා කිරීමයයි පැනවීමක් ඇති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤ්චධර්මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි.)
“ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙම කණ ඇති කල්හි ශබ්දය ඇති කල්හි සොතවිඤ්ඤාණය ඇති කල්හි ස්පර්ශයයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි) ස්පර්ශයයයි පැනවීමක් ඇති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි) වේදනාවයයි පැනවීමක් ඇති කල්හි සංඥාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. සංඥාවයයි පැනවීමක් ඇති කල්හි විතර්ක (කල්පනා කිරීම) යයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. විතර්කයයි පැනවීමක් ඇති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි.)
“ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙම නාසය, ඇති කල්හි ගන්ධය ඇති කල්හි ඝාණ විඤ්ඤාණය ඇති කල්හි ස්පර්ශයයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි) ස්පර්ශයයයි පැනවීමක් ඇති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි) වේදනාවයයි පැනවීමක් ඇති කල්හි සංඥාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. සංඥාවයයි පැනවීමක් ඇති කල්හි විතර්කයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. විතර්කයයි පැනවීමක් ඇති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි.)
“ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙම දිව ඇති කල්හි රසය ඇති කල්හි ජීව්හාවිඤ්ඤාණය ඇති කල්හි ස්පර්ශයයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි) ස්පර්ශයයයි පැනවීමක් ඇති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි.) වේදනාවයයි පැනවීමක් ඇති කල්හි සංඥාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. සංඥාවයයි පැනවීමක් ඇති කල්හි විතර්කයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. විතර්කයයි පැනවීමක් ඇති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි (සිදුවෙයි.)
“ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙම කය ඇති කල්හි ස්පර්ශය ඇති කල්හි කාය විඤ්ඤාණය ඇති කල්හි ස්පර්ශයයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි.) ස්පර්ශයයයි පැනවීමක් ඇති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි) වේදනාවයයි පැනවීමක් ඇති කල්හි සංඥාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. සංඥාවයයි පැනවීමක් ඇති කල්හි විතර්කයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. විතර්කයයි පැනවීමක් ඇති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි (සිදුවෙයි.)
“ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙම (භවාඩ්ග) සිත ඇති කල්හි ධර්ම අරමුණු ඇති කල්හි මනොවිඤ්ඤාණය ඇති කල්හි ස්පර්ශයයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි (සිදුවෙයි) ස්පර්ශයයයි පැනවීමක් ඇති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි.) වේදනාවයයි පැනවීමක් ඇති කල්හි සංඥාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. සංඥාවයයි පැනවීමක් ඇති කල්හි විතර්කයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. විතර්කයයි පැනවීමක් ඇති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි (සිදුවෙයි)
“ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙම ඇස නැති කල්හි, රූපය නැති කල්හි, චක්ඛු විඤ්ඤාණය නැති කල්හි, ස්පර්ශයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (සිදු නොවෙයි) ස්පර්ශයයයි පැනවීමක් නැති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි (නොසිදුවෙයි) වේදනාවයයි පැනවීමක් නැති කල්හි සංඥාවයයි පැනවීමක් පනවන්නේය යන කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි) සංඥාවයයි පැනවීමක් නැති කල්හි විතර්කයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි) විතර්කයයි පැනවීමක් නැති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි)
“ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙම කණ නැති කල්හි ශබ්දය නැති කල්හි, සොතවිඤ්ඤාණය නැති කල්හි, ස්පර්ශයයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (සිදු නොවෙයි) ස්පර්ශයයයි පැනවීමක් නැති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි) වේදනාවයයි පැනවීමක් නැති කල්හි සංඥාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි) සංඥාවයයි පැනවීමක් නැති කල්හි විතර්කයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමානවෙයි. (නොසිදුවෙයි) විතර්කයයි පැනවීමක් නැති කල්හි තෘෂ්ණාදෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යාමාන වෙයි. (නොසිදුවෙයි)
“ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙම නාසය නැති කල්හි, ගන්ධය නැති කල්හි, ඝාණවිඤ්ඤාණය නැති කල්හි, ස්පර්ශයයයි පැනවිමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි (සිදු නොවෙයි) ස්පර්ශයයයි පැනවීමක් නැති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි (නොසිදු වෙයි) වේදනාවයයි පැනවීමක් නැති කල්හි සංඥාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි) සංඥාවයයි පැනවීමක් නැති කල්හි විතර්කයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි) විර්කයයි පැනවීමක් නැති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමානවෙයි. (නොසිදුවෙයි.)
“ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙම දිව නැති කල්හි, රසය නැති කල්හි, ජීව්හා විඤ්ඤාණය නැති කල්හි, ස්පර්ශයයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (සිදුනොවෙයි) ස්පර්ශයයයි පැනවීමක් නැති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි) වේදනාවයයි පැනවීමක් නැති කල්හි සංඥාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. සංඥාවයයි පැනවීමක් නැති කල්හි විතර්කයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. විතර්කයයි පැනවීමක් නැති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි.)
“ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙම කය නැති කල්හි ස්පර්ශය නැති කල්හි, කාය විඤ්ඤාණය නැති කල්හි, ස්පර්ශයයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (සිදුනොවෙයි) ස්පර්ශයයයි පැනවීමක් නැති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි) වේදනාවයයි පැනවීමක් නැති කල්හි සංඥාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි) සංඥාවයයි පැනවීමක් නැති කල්හි විතර්කයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි) විතර්කයයි පැනවීමක් නැති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි)
“ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙම (භවාඩ්ග) සිත නැති කල්හි, ධර්ම අරමුණු නැති කල්හි, මනොවිඤ්ඤාණය නැති කල්හි ස්පර්ශයයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (සිදු නොවෙයි) ස්පර්ශයයයි පැනවීමක් නැති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි) වේදනාවයයි පැනවීමක් නැති කල්හි සංඥාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදු වෙයි.) සංඥාවයයි පැනවීමක් නැති කල්හි විතර්කයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි.) විතර්කයයි පැනවීමක් නැති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදු වෙයි.)
“ඇවැත්නි, යමක් භාග්‍යවතුන් වහන්සේ තොපට කොටින් දේශනා කොට විස්තර වශයෙන් අර්ථය නොබෙදා උන් ආසනයෙන් නැගිට විහාරයට වැඩියාහුද ‘මහණ යමක් හේතුකොට ගෙන තෘෂ්ණා දෘෂ්ටියයි කියන ලද ප්‍රමාදයට හේතුවූබැවින් ප්‍රපඤ්ච නම් ධර්මයෝ පුරුෂයා කෙරෙහි පවතිද්ද, ඒ හේතූන් වන දොළොස් ආයතනයන් කෙරෙහි ඉදින් සතුටු විය යුත්තක් නැත්තේද, මමය මාගේයයි කිව යුත්තක් නැත්තේද, ගැලිය යුත්තක් නැත්තේද, එයම රාගානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම පටිඝානුසයන්ගේ කෙළවර වන්නේය, එයම දිට්ඨානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම විචිකිච්ඡානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම මානානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම භවරාගානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම අවිජ්ජානුසයයන්ගේ කෙළවර වන්නේය. දඬු මුගුරු ගැනීමය, ආයුධ ගැනීමය, කෝලාහල කිරීමය, විරුද්ධව කථාකිරීමය, තා තේ කියා බැණීමය, කේලාම් කීමය, බොරු කීමය යන මේ අකුශලයන්ගේද කෙළවර වන්නේය. මේ දොළොස් ආයතනයන් කෙරෙහි ලාමකවූ මේ අකුශල ධර්මයෝ ඉතිරි නොවී විනාශ වෙත්ය”යි (වදාළේද,)
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් දේශනා කොට අර්ථ බෙදා විස්තර නොකළාවූ ඒ දේශනාවේ විස්තර අර්ථය මෙසේ දනිමි. ඇවැත්නි, ඉදින් තොප කැමති වන්නාහු නම් භාග්‍යවතුන් වහන්සේ වෙතටම පැමිණ මෙහි විස්තරය විචාරව්. තොපට යම්සේ භාග්‍යවතුන් වහන්සේ විස්තර කරද්ද එසේ දරා ගනිව්.”

ඉක්බිති ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේගේ දේශනාවට සතුටුව, අනුමෝදන්ව උන් අසුන්වලින් නැගිට භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පැත්තක උන්නාහුය. එක පැත්තක උන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකළාහුය.
“මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ අපට කොටින් දේශනා කොට විස්තර වශයෙන් අර්ථය නොබෙදා උන් ආසනයෙන් නැගිට විහාරයට වැඩියහ.
“මහණ, යමක් හේතුකොට ගෙන තෘෂ්ණා දෘෂ්ටියයි කියන ලද ප්‍රමාදයට හේතුවූ බැවින් ප්‍රපඤ්ච නම් ධර්මයෝ පුරුෂයා කෙරෙහි පවතිත්ද, ඒ හේතූන් වන දොළොස් ආයතනයන් කෙරෙහි ඉදින් සතුටු විය යුත්තක් නැත්තේද, මමය මාගේයයි කිව යුත්තක් නැත්තේද, ගැලිය යුත්තක් නැත්තේද, එයම රාගානුසයයන්ගේ කෙළවරවන්නේය. එයම පටිඝානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම දිට්ඨානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම විචිකිච්ඡානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම මානානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම භවරාගානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම අවිජ්ජානුසයයන්ගේ කෙළවර වන්නේය. දඬු මුගුරු ගැනීමය, ආයුධ ගැනීමය, කෝලාහල කිරීමය, විරුද්ධ කථා කීමය, තා තෝ කියා බැණීමය, කේලාම් කීමය, බොරු කීමය යන මේ අකුශලයන්ගේද කෙළවර වන්නේය. මේ දොළොස් ආයතනයන් කෙරෙහි ලාමකවූ මේ අකුශල ධර්මයෝ ඉතිරි නොවී විනාශ වෙත්” (කියායි)
“භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වැඩිය ටික වේලාවකින් ඒ අපට මේ අදහස ඇතිවිය
“භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් දේශනා කළාවූ, විස්තර වශයෙන් අර්ථය නොබෙදුවාවූ මේ දේශනාවේ අර්ථය කවරෙක් විස්තර වශයෙන් බෙදා දක්වන්නේද (කියායි) එසේ සිතූ ඒ අපට මේ සිත පහළවිය මේ ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ ශාස්තෲන් වහන්සේ විසින් වර්ණනා කරන ලද්දේමය. නුවණ ඇත්තාවූ සමාන බ්‍රහ්මචරියා ඇත්තවුන් විසින් ගරුකරන ලද්දේය, ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ, මේ කොටින් දේශනාකළාවූ විස්තර වශයෙන් අර්ථය නොබෙදුවාවූ මේ දේශනාවේ අර්ථය බෙදා ප්‍රකාශ කරන්ට සමර්ථ වෙයි. අපි යම් හේතුවකින් ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතැනට යන්නෙමු නම් ඉතා යෙහෙක, එසේ පැමිණ, ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේගෙන් මෙහි තේරුම් අසන්නෙමුයි (කියායි.)
“ස්වාමීනි, ඉන්පසු අපි ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියෙමු. පැමිණ, ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේගෙන් මේ කාරණය ඇසුවෙමු. ස්වාමිනි, ඒ අපට ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ මේ ක්‍රමයෙන් මේ පදවලින් යුක්තව, මේ අක්ෂරවලින් යුක්තව අර්ථය විස්තර කරන ලද්දේය”යි (කීවාහුය.)
“මහණෙනි, මහා කාත්‍යායන තෙම පණ්ඩිතය. මහණෙනි, මහා කාත්‍යායන තෙම මහත් ප්‍රඥාවෙන් යුක්තය. මහණෙනි, තොපි මගෙන්ද මේ කාරණය අසන්නහු නම් මමද එය යම්සේ මහා කාත්‍යායනයන් විසින් විස්තර කරන ලද්දේද එපරිද්දෙන්ම විස්තර කරන්නෙමි. එයම මේ දේශනාවෙහි අර්ථය වන්නේය. මෙසේ ඒ අර්ථය දරාගනිව්”යි (වදාළහ.) මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය.
“ස්වාමීනි, බඩසාදුකින් දුර්වලව පෙළෙන්නාවූ පුරුෂයෙක් මීපැණි දමා කළ අග්ගලාවක් ලබාද, හෙතෙම යම් යම් කොටසකින් රස විඳීද, (ඔහු) ඒ ඒ කොටසින් රස අඩු වැඩි යයි නොකිය යුතුවූ මිහිරි රසය ලබන්නේය. ස්වාමීනි, එපරිද්දෙන්ම සිතන්නාවූ පණ්ඩිත ස්වභාව ඇති මහණතෙම මේ ධර්ම ක්‍රමය පිළිබඳව යම් යම් කොටසකින් අර්ථය සලකන්නේද, (එයින්) සතුටු සිත් ඇති බවම ලබන්නේය. සිතේ පැහැදීමම ලබන්නේය. ස්වාමීනි, මේ ධර්ම ක්‍රමයේ නම කුමක් දැ”යි (ඇසීය) ‘එසේ නම් ආනන්දය, තොප මේ ධර්ම ක්‍රමය “මධු පිණ්ඩික” කියාම දරාගනුව.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටුවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේය.

(මජ්ඣිමනිකාය » මූලපණ්ණාසපාළි » සීහනාදවග්ගො » මධුපිණ්ඩිකසුත්තං)

February 5th, 2023

Posted In:

Leave a Comment

අති පුජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමියන් විසින් මැදමාවත විමුක්ති අරණ හුදකලා භාවනා මධ්‍යස්තානයේදී අන්තර්ජාලය ඔස්සේ සිදුකල ධර්ම සාකච්චා

 

 

 

November 23rd, 2022

Posted In:

Leave a Comment

Next Page »

Nonprofit (2016Nov)  –  Powered by Pixalogy.lk