මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් රට සාලා නම් බ්‍රාහ්මණ ගමෙහි වාසය කරන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කොට මෙසේ වදාළහ. “මහණෙනි, අලුත පැවිදිවූ අලුත මේ ශාසනයට ඇතුළත්වූ යම් ඒ නවක භික්ෂූහු වෙත්ද, මහණෙනි, තෙපි ඔවුන් සතර සතිපට්ඨානයන් වඩනු පිණිස සමාදන් කරවිය යුතුය. එහි ඇතුළත් කරවිය යුතුය. පිහිටුවිය යුතුය.
“කවර සතරක්ද යත්? ඇවැත්නි, තෙපි එව් කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුණු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව ඇති සැටියෙන් කය අවබොධ කරනු පිණිස කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරව්.
“කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව වේදනාවන් ඇති සැටියෙන් අවබෝධ කරනු පිණිස වේදනාවන්හි වේදනා නැවත නැවත බලමින් වාසය කරව්.
“කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුණු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව චිත්තයන් ඇති සැටියෙන් අවබොධ කරනු පිණිස චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරව්.
“කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව ධර්මයන් ඇති සැටියෙන් අවබොධ කරනු පිණිස ධර්මයන්හි ධර්මය නැවත නැවත බලමින් වාසය කරව්.
“මහණෙනි, රහත් බවට නොපැමිණියාවූ නිරුත්තර නිර්වාණය බලාපොරොත්තු වන්නාවූ යම් ඒ ශෛක්ෂ භික්ෂූහු වෙත්ද ඔව්හුද වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව කය පිරිසිඳ දැනගැනීම පිණිස කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරත්………………………………..
“මහණෙනි, ආශ්‍රවයන් ක්ෂය කළාවූ වැස නිමවන ලද බ්‍රහ්මචර්යා ඇත්තාවූ අවසාන කළ කටයුතු ඇත්තාවූ බහා තැබූ ස්කන්ධ බර ඇත්තාවූ තමාගේ අර්ථයට පැමිණියාවූ ක්ෂය කළ භව බැඳුම් ඇත්තාවූ මනාව දැනගත්තාවූ කෙලෙසුන් කෙරෙන් මිදුණාවූ රහත් භික්ෂූහු වෙත්ද, ඔව්හුද වීර්‍ය්‍යයෙන් යුක්තව
නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව කය හා බැඳීමෙන් වෙන්ව කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරත්………………………………..
(සංයුත්තනිකාය- සතිපට්ඨානසංයුත්තය- අම්බපාලිවග්ගය)
“මහණෙනි, පෙර වූ දෙයක් කියමි. උකුස්සෙක් වේගයෙන් බැස කැටකුරුල්ලෙකු හදිසියෙන් අල්වාගත්තේය. මහණෙනි, ඉක්බිති උකුස්සා විසින් ඩැහැගෙන යනු ලබන්නාවූ කැට කුරුල්ලා මෙසේ කියමින් හැඬීය. කෙසේද? ‘අපිම කාලකණ්ණි වෙමු. අපිම අඩු පින් ඇත්තෝ වෙමු. ඒ අපි විසීමට නුසුදුසුවූ අනුන්ට අයත්වූ ස්ථානයක විසුවෙමු. ඉදින් අපි සිය පරපුරෙන් ආ තමහට අයත් වාසස්ථානයෙහි විසුවෙමු නම් මේ උකුසුතෙම (මා සමග කරන) යුද්ධයට සමර්ථ නොවේ’ යනුය.
(මෙසේ කී කල්හි) උකුසුතෙම ‘කැටකුරුල්ලා, තගේ පිය පරපුරෙන් ආ තට අයත් වාසස්ථානය නම් කවරේදැයි’ ඇසීය.‘නගුලෙන් සාන ලද කැට ස්ථානයයි!’ හේ කීය.“මහණෙනි, ඉක්බිති උකුස්සා ස්වකීය බලයෙහි දැඩිව සිට ස්වකීය බලය ප්‍රකාශ කරමින් ‘කැට කුරුල්ල එසේ නම් පල එහිදීද තෝ (මගෙන්) නොගැලවෙන්නෙහියයි’ කියා කැටකුරුල්ලා අතහැරියේය.“ඉක්බිති කැට කුරුල්ලා නඟුලෙන් සාන ලද කැට ඇති තැනකට ගොස් ලොකු කැටයක් උඩට නැඟී උකුස්සාට ‘දැන් ඉතින් වර’යයි කියමින් සිටියේය.
ඉක්බිති උකුස්සා ස්වකීය බලයෙහි පිහිටා ස්වකීය බලය ප්‍රකාශ කරමින් යුද්ධයට ඊතලය මෙන් අත්තටු හදා ක්ෂණයකින් කැට කුරුල්ලා වෙත පාත්විය. කැට කුරුල්ලා උකුස්සා තමහට ඉතාම ළංවන අවස්ථාව යම් විටෙක දැන ගත්තේද එකෙණෙහිම එම සී කැටයේ ඇතුල් පැත්තට රිංගා ගත්තේය. මහණෙනි, ඉක්බිති උකුස්සා එහිම ළය පැළී මළේය. මහණෙනි, යමෙක් තමහට නුසුදුසු ස්ථානයෙහි හැසිරේනම් මෙසේ වන්නේය.
මහණෙනි, එහෙයින් අනුන්ට අයත්වූ නුසුදුසු ස්ථානයන්හි නොවසව්. අනුන්ට අයත් තන්හි වසන්නහු පිළිබඳව මාරයා ඉඩ ලබන්නේය. මාරයා කරුණු ලබන්නේය. මහණෙනි, භික්ෂුවට නුසුදුසු ස්ථානය නම් කුමක්ද? මේ කාමගුණ පස වෙති.
කවර පසක්ද? ඇසින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ යම් රූපයෝ වෙත්ද,කනින් ……….,නැහැයෙන් ……….,දිවෙන් ………., “කයින් ……….,මහණෙනි, මේ වනාහි භික්ෂුවට නුසුදුසුවූ අනුන්ට අයත් වාසස්ථානය වෙයි.
“මහණෙනි, තම පිය පරපුරෙන් එන ස්වකීය වාසස්ථානයෙහි වාසය කරව. මහණෙනි, තම පිය පරපුරෙන් එන ස්වකීය වාසස්ථානයෙහි වසන්නහු පිළිබඳව මාරයා ඉඩක් නොලබන්නේය. මාරයා කරුණක් නොලබන්නේය.
“මහණෙනි, සිය පිය පරපුරෙන් එන ස්වකීය වාසස්ථානය නම් කවරේද? මේ සතර සතිපට්ඨානයෝයි. කවර සතරක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව කයෙහි කය පිරිසිඳ දැනගැනීම පිණිස කයෙහි කය නැවත බලමින් වාසය කරන්නේය. වෙදනාවන්හි වේදනා නැවත නැවත…………
චිත්තයන්හි චිත්තයන් නැවත නැවත………….,
මහණෙනි, මේ භික්ෂුවගේ සිය පරපුරෙන් එය ස්වකීය වාසස්ථානය වෙයි.
අදාළ දේශණා සමුහය පහතින්,