මහණෙනි, මම (නුවණින්) දන්නහුට දක්නහුට ආස්‍රවයන්ගේ ක්‍ෂය කිරීම කියමි. නො දන්නහුට නො දක්නහුට නො කියමි. යලි දු මහණෙනි, කුමක් දන්නහුට කුමක් දක්නහුට ආස්‍රව ක්‍ෂය වේ ද? යොනිසොමනසිකාරය ද අයොනිසොමනසිකාරය ද (දන්නහුට දක්නහුට ආස්‍රව ක්‍ෂය) වේ. මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නහුට නුපන්නා වූ ද ආස්‍රවයෝ උපදිති. උපන්නාවූ ද ආස්‍රවයෝ වැඩෙති. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නහුට නුපන්නා වූ ද ආස්‍රවයෝ නුපදිති. උපන්නා වූ ද ආස්‍රවයෝ ප්‍රහීණ වෙති.
මහණෙනි, සෝවන්මගනුවණින් පහ කළ යුතු ආස්‍රව ඇත. ස්මෘතිසඞ්ඛ්‍යාත සංවරයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. ඥානසංවරසඞ්ඛ්‍යාත ප්‍රත්‍යවෙක්ෂාප්‍රතිසෙවනායෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. ක්ෂාන්තිසංවරසඞ්ඛ්‍යාත අධිවාසනායෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. ශීලසංවරසඞ්ඛ්‍යාත පරිවර්ජනයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. වීර්යසංවරසඞ්ඛ්‍යාත විනොදනයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. උපරිමාර්ගත්‍රය හා සම්ප්‍රයුක්ත බොධ්‍යඞ්ගයන්ගේ භාවනාවෙන් පහ කළ යුතු ආස්‍රව ඇත.
1. ඔහුට මෙනෙහි නො කළ යුතු ධර්මයන් මෙනෙහි නො කිරීමෙන් මෙනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන් නූපන් ආස්‍රවයෝත් නූපදිත්, උපන් ආස්‍රවයෝත් ප්‍රහීණ වෙත්. හේ මේ දුකැයි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛසමුදය යි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛනිරොධය යි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛනිරොධගාමිනීපටිපදාය යි නුවණින් මෙනෙහි කරයි. මෙසේ නුවණින් මෙනෙහි කරන ඔහුගේ සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස යන තුන් සංයෝජනයෝ ප්‍රහීණ වෙත. මහණෙනි, මොහු දර්ශනයෙන් (සෝවන් මඟින්) ප්‍රහීණ කළ යුතු ආස්‍රවයෝ යි කියනු ලැබෙත්.
2.මහණෙනි, සංවරයෙන් ප්‍රහීණ කළ යුතු ආස්‍රවයෝ කවරහ ? යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ නුවණින් සලකා චක්ෂුන්ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසේ ද, මහණෙනි, චක්ෂුන්ද්‍රිය සංවරයෙන් සංවෘත නො වී වසන්නහුට පීඩා කර වූ යම් (ක්ලේශ විපාක) පරිදාහ කෙනෙක් උපදිත් නම්, චක්ෂුන්ද්‍රිය සංවර සංවෘත ව වසන ඔහුට මෙසේ ඒ පීඩාකර පරිදාහයෝ නො වෙත්. නුවණින් සලකා ශෝතෙන්ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසේ ද… නුවණින් සලකා ඝ්‍රාණෙන්ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසේ ද… ජිව්හෙන්ද්‍රියසංවරයෙන්… කායෙන්ද්‍රිය සංවරයෙන්… මනින්ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසේ ද, මහණෙනි, මනින්ද්‍රිය සංවරයෙන් සංවෘත නො වී වසන්නහුට පීඩාකර වූ යම් පරිදාහ කෙනෙක් උපදිත් නම්, මනින්ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසෙන ඔහුට මෙසේ ඒ පීඩාකර පරිදාහයෝ නො වෙත්. මහණෙනි, යම් හෙයෙකින් සංවරයක් නැතිව වාසය කරන්නා වූ ඔහුට වෙහෙස හෝ දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, සංවරයෙන් යුක්ත ව වාසය කරන්නා වූ ඔහුට මෙසේ ඒ වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ සතිසංවරයෙන් පහ කළ යුත්තෝ ය යි කියනු ලැබෙත්.
3.මහණෙනි, ප්‍රත්‍යවෙක්ෂාඥානයෙන් පහ කළ යුතු ආස්‍රවයෝ කවරහ ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ නුවණින් සලකා හුදෙක් ශීත නැති කිරීම පිණිස, උෂ්ණ නැති කිරීම පිණිස, මැසි මදුරු සුළං අවු සපුන්ගේ ස්පර්ශ නැති කිරීම පිණිස, ලජ්ජාස්ථාන වසා ගැන්ම පිණිස පමණක් සිවුරු පරිභොග කෙරෙ යි. නුවණින් සලකා පිණ්ඩපාතය වළඳයි. (එය) ක්‍රීඩා පිණිස නො වේ ම ය. පුරුෂ මදය වැදීම පිණිස නො වේ ම ය. සැරසීම පිණිස නො වේ ම ය. අලංකාර පිණිස නො වේ ම ය. හුදෙක් මේ ශරීරයාගේ පැවැත්ම පිණිස ම ය. යැපීම පිණිස ම ය. බඩගිනි වැළැක්වීම පිණිස ම ය. බ්‍රහ්මචර්යාව රැකීමට අනුබලයක් සඳහා ම ය. මෙසේ පැරණි බඩගිනි වෙදනාවන් නැති කරන්නෙමි. අලුත් වෙදනා ද නූපදවන්නෙමි. එයින් මාගේ ජීවිතය පැවැත්ම ද වන්නේ ය. නිවැරදි බව ද වන්නේ ය. සැප විහරණය ද වන්නේ යි (සලකා පිණ්ඩපාතය වළඳයි). හුදෙක් ශීත නැති කිරීම පිණිස, උෂ්ණය නැති කිරීම පිණිස, මැසි මදුරු සුළං අවු සපුන්ගේ ස්පර්ශ නැති කිරීම පිණිස, ඍතුපීඩා නැති කිරීම පිණිස විවෙකයෙහි ඇලීම් පිණිස පමණක් ය යි නුවණින් සලකා සෙනසුන සෙවනය කරයි. හුදෙක් උපන්නා වූ නොයෙක් ආබාධයන්ගේ වෙදනා නැති කිරීම පිණිස, රොග දුක් නැති ව සිටීම පිණිස පමණක් සෙවනය කරමි යි නුවණින් සලකා ගිලන්පස බෙහෙත් ආදිය සෙවනය කරයි. මහණෙනි, යම් හෙයෙකින් ප්‍රත්‍යවෙක්ෂා නො කරන්නා වූ ඔහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, ප්‍රත්‍යවෙක්ෂා කරන්නාට මෙසේ ඒ දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ ප්‍රත්‍යවෙක්ෂාවෙන් පහ කළ යුත්තෝය යි කියනු ලැබෙත්.
4.මහණෙනි, අධිවාසනායෙන් පැහිය යුතු ආස්‍රවයෝ කවරහ ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ නුවණින් සලකා ශීත ඉවසන සුල්ලෙක් වෙයි. උණුසුම ද, බඩගින්න ද, පවස ද, මැසි, මදුරු, සුළං, අවු, සපුන්ගේ ස්පර්ශ ද, නපුරු කොට කියූ, නපුරු ලෙස පැමිණි වචන ද ඉවසන සුල්ලෙක් වෙයි. උපන් ශාරීරික වූ, තියුණු වූ රළු වූ කටුක වූ අමිහිරි වූ අමනාප වූ දිවි පැහැර ගන්නා වූ වෙදනා ඉවසන සුල්ලෙක් වෙයි. යම් හෙයෙකින් නො ඉවසන්නා වූ ඔහුට වෙහෙසකර දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, මෙසේ ඉවසන්නා වූ ඔහුට වෙහෙසකර දැවිලි සහිත ආස්‍රවයෝ නූපදිත්. මහණෙනි, මේ අධිවාසනායෙන් පහ කළ යුතු ආස්‍රවයෝ යි කියනු ලැබෙත්.
5. මහණෙනි, දුරු කිරීමෙන් පැහිය යුතු ආස්‍රවයෝ කවරහ ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ නුවණින් සලකා නපුරු ඇතු දුරු කෙරෙ යි. නපුරු අසු දුරු කෙරෙ යි. නපුරු ගොනු දුරු කෙරෙ යි. නපුරු බලු දුරු කෙරෙයි. සපු, කණු, කටුලැහැබ, හෙබ, පවයින්, ගවරවළ, මොළඟ දුරු කෙරෙයි. යම් බඳු නුසුදුසු අස්නෙහි හුන්නහු, යම්බඳු නුසුදුසු තන්හි හැසිරෙන්නහු, යම්බඳු පවිටු මිත්‍රයන් සෙවනය කරන්නහු නුවණැත්තා වූ සබ්‍රම්සරහු ලාමක තන්හි ලා සලකන්නාහු ද, ඒ තෙමේ ඒ නො අසුන ද ඒ අගොචාරය ද ඒ පාපමිත්‍රයන් ද නුවණින් සලකා දුරු කෙරෙ යි. මහණෙනි, යම් හෙයෙකින් එබඳු දේ දුරු නො කරන්නහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, මෙසේ එබඳු දේ දුරු කරන්නහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ දුරු කිරීමෙන් පැහිය යුත්තෝ ය යි කියනු ලැබෙත්.
6.මහණෙනි, විනොදනයෙන් (දෝෂ සැලකීම් සහිත වීර්යයෙන්) පහ කළ යුතු ආස්‍රවයෝ කවරහ ? යත්: මහණෙනි, මේ ලොකයෙහි මහණ තෙමේ නුවණින් සලකා උපන් කාමවිතර්කය සිත තබා නො ගනියි, දුරු කරයි, බැහැර කරයි, විනාශ කරයි. නැවත නො ඉපදීමට පමුණුව යි. උපන්නා වූ ව්‍යාපාදවිතර්ක සිත තබා නො ගනියි, දුරු කරයි, බැහැර කරයි, විනාශ කරයි, නැවත නො ඉපදීමට පමුණුවයි. උපන්නා වූ විහිංසා විතර්කය…උපනුපන් ලාමක අකුශල ධර්මයන් සිත තබා නො ගනියි, දුරු කරයි, බැහැර කරයි, විනාශ කරයි, නැවත නො ඉපදීමට පමුණුවයි. මහණෙනි, යම් හෙයකින් එබඳු දේ දුරු නො කරන්නා වූ ඔහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, මෙසේ එබඳු දේ දුරු කරන්නහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ විනොදනයෙන් පැහිය යුත්තෝ ය යි කියනු ලැබෙත්.
7.මහණෙනි, භාවනාවෙන් පැහිය යුතු ආස්‍රවයෝ කවරහ ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ නුවණින් සලකා විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවණට නැඹුරු සතිසම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයි… නුවණින් සලකා ධම්මවිචය සම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයි… විරියසම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයි… පීතිසම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයි… පස්සද්ධි සම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයි… සමාධිසම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරොධය ඇසුරු කළ නිවණට නැඹුරු උපෙක්ඛා සම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයි. මහණෙනි, යම් හෙයෙකින් බොජ්‌ඣඞ්‌ග නො වඩන්නාට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, මහණෙනි, මෙසේ ඒ බොජ්‌ඣඞ්‌ග වඩන්නා වූ ඔහුට ඒ වෙහෙස දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ භාවනාවෙන් පැහිය යුත්තෝ ය යි කියනු ලැබෙත්.
සබ්බාසව සුත්‍රය ආශ්‍රිත මෙතෙක් සිදු කල සියලු දේශණා,
දේශනා ඇසුරින් සම්පාදනය වූ “සබ්බාසව සුත්‍රය” පොත.