0777304415 , 0703300135     info@medamawatha.lk

 

 

කොළඹ 06 ,සුගතදස්සිනාරාමය විහාරස්ථානයේ (ලුම්බිනි විදුහල අසල) පැවැත්වූ ධර්ම දේශනා

 

November 6th, 2016

Posted In:

Leave a Comment

 

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා නුවර බෙලුව නම් ගමෙහි වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. “මහණෙනි, එව තෙපි විශාලා නුවර අවට මිත්‍රයන් යහළුවන් එකට වළඳා පුරුදු ඇතියන් ඇති ඇති සැටියෙන් වස් වසව. මම මෙහිම බෙලුව ගමෙහි වස් වසන්නෙමියි” වදාළේය.

 

“ස්වාමීනි, එසේයයි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී විශාලා නුවර හාත්පස මිත්‍රයන් යහළුවන් එකට වළඳා පුරුදු වූවත් ඇති පරිදි වස් වැසූහ. භාග්‍යවතුන් වහන්සේ වනාහි බෙලුව ගමෙහි වස් වැසූහ.

 

එහි වස්වැසූ භාග්‍යවතුන් වහන්සේට කෲර ආබාධයක් උපන්නේය. මාරණාන්තිකවූ බලවත් වෙදනා පවතිත්. ඒ වෙදනා භාග්‍යවතුන් වහන්සේ පීඩා නොවෙමින් සිහි නුවණින් යුක්තව ඉවසූසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේට මෙසේ අදහස් විය.‘උපස්ථායකයන්ට නොදන්වා භික්ෂූ සංඝයාට අවවාද නොකොට පිරිනිවන්පාන්නෙමි නම් එය මට සුදුසු නොවේ. එහෙයින් මම මේ ආබාධය වීර්‍ය්‍යයෙන් දුරුකොට ජීවිත සංස්කාරය ආරක්ෂා කරන්නාවූ ඵල සමාපත්තිය ඉටා වාසය කරන්නෙමි නම් මැනවි කියායි.

 

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වීර්‍ය්‍යයෙන් ආබාධය දුරුකොට ජීවිතය රක්නාවූ ඵලසමාපත්තිය ඉටා වාසය කළසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ගිලන්කමින් නැගිට ගිලන්කමින් නැගිටි නොබෝකල් ඇත්තේ සවස් කාලයෙහි වැටෙන විහාර ඡායාවෙහි පණවන ලද ආසනයෙහි වැඩ හුන්හ.

 

එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හිඳ ගත්තේය. එක් පසෙක හිඳගත් ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැල කෙළේය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට ඉවසිය හැකි බව දක්නා ලදී. භාග්‍යවතුන් වහන්සේට යැපිය හැකි බව දක්නාලදී. භාග්‍යවතුන් වහන්සේගේ ගිලන්කම නිසා මගේ කය ගල් ගැසුනාක් මෙන් විය. මට දිශාද නොවැටහෙත්. මට සතිපට්ඨාන ධර්මයන්ද නොවැටහෙත්. එහෙත්, ස්වාමීනි, මට දැන් භාග්‍යවතුන් වහන්සේ භික්ෂුසංඝයා අරබයා කිසියම් පශ්චිම අවවාදයක් නොදී පිරිනිවන් නොපාන්නේ යයි ස්වල්ප මාත්‍ර ආශ්වාදයක් ලැබිණැයි” කීය.

 

“ආනන්දය දැන් භික්ෂු සංඝයා මා කෙරෙහි කුමක් හෙයින් බලාපොරොත්තු වන්නෙහිද? ආනන්දය මාවිසින් ඇතුළත් පිරිස, පිට පිරිස වශයෙන් වෙනසක් නොකොට ධර්මය දෙශනා කරන ලදී. ආනන්දය, තථාගතයන්ගේ ධර්මයෙහි ගුරුමුෂ්ටියක් නැත්තේය.

 

“ආනන්දය, යමෙකුට වනාහි මමම භික්ෂු සංඝයා පරිහරණය කරන්නෙමියි හෝ භික්ෂුසංඝයා මා බලාපොරොත්තුවෙන්ම සිටීවායී හෝ හෙතෙමේම භික්ෂු සංඝයා අරබයා කිසි අවසාන අවවාදයක් කරන්නේයයි හෝ අදහස් වේද, ආනන්දය,තථාගතයන් වහන්සේට එවැනී වූ ‘මමම භික්ෂු සංඝයා පරිහරණය කරන්නෙමි. භික්ෂු සංඝයා මාම බලාපොරොත්තු වේවා’ යන අදහසක් නැත. ආනන්දය, ඒ තථාගතයන් වහන්සේ භික්ෂු සංඝයා අරබයා කිනම් අවසාන අවවාදයක් කරන්නේද? ආනන්දය, දැන් වනාහි මම දිරා ගියේ වෙමි. මහළු වූයේ වෙමි. කල් ගත වූයේ වෙමි. වයසට පැමිණියේ වෙමි. අසූ වයස් වෙමි. ආනන්දය, යම්සේ දිරාගිය ගැලක් උණ පතුරු බැඳ ප්‍රයෝජනයට ගනියිද, ආනන්දය, එසේම තථාගතයන් වහන්සේගේ කය උණ පතුරු තබා බඳින ලද්දාක් මෙන් හඟිමියි වදාළේය

 

“ආනන්දය, යම්විටෙක තථාගත තෙමේ සියලු රූපාදී අරමුණු මෙනෙහි නොකිරීමෙන් ඇතැම් වේදනා (ලෞකික වෙදනා) නිරුඞ කිරීමෙන් අනිමිත්ත චෙතො විමුක්ති සංඛ්‍යාත අර්හත්ඵල සමාපත්තියට පැමිණ වාසය කරන්නේද,ආනන්දය, එකල්හි තථාගතයන් වහන්සේට අතිශයින් පහසු වෙයි. එහෙයින් ආනන්දය, තමා ආලෝකයක් කොට ගෙන තමා පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන ධර්මය ආලෝකයක් කොට ගෙන ධර්මය පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන වාසය කරව්.

 

‘‘කථඤ්චානන්ද, භික්ඛු අත්තදීපො විහරති අත්තසරණො අනඤ්ඤසරණො,ධම්මදීපො ධම්මසරණො අනඤ්ඤසරණො? ඉධානන්ද, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු…පෙ…. චිත්තෙ…පෙ…. ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එවං ඛො, ආනන්ද, භික්ඛු අත්තදීපො විහරති අත්තසරණො අනඤ්ඤසරණො,ධම්මදීපො ධම්මසරණො අනඤ්ඤසරණො. යෙ හි කෙචි, ආනන්ද, එතරහි වා මමච්චයෙ වා අත්තදීපා විහරිස්සන්ති අත්තසරණා අනඤ්ඤසරණා, ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා ; තමතග්ගෙ මෙතෙ, ආනන්ද, භික්ඛූ භවිස්සන්ති යෙ කෙචි සික්ඛාකාමා’’ති. නවමං.

 

“ආනන්දය, කෙසේ නම් මහණතෙම තමා ආලෝකයක් කොට ගෙන තමා පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන ආලෝකයක් කොට ගෙන ධර්මය පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන වාසය කරන්නේද?

 

මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම වීර්‍ය්‍යයෙන් යුත්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ලොභ ද්වෙෂයන් දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරයිද, “වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලොකයෙහි ලෝභ ද්වෙෂයන් දුරුකොට වේදනාවන්හි වෙදනාවන් නැවත නැවත බලමින් වාසය කරයිද, “වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ලෝභ ද්වෙෂයන් දුරුකොට චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරයිද, ‘වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ලෝභ ද්වෙෂයන් දුරු කොට ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරයිද,

 

“ආනන්දය, මෙසේ වනාහි මහණතෙමේ තමා ආලෝකයක් කොට ගෙන තමා පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන ධර්මය ආලෝකයක් කොට ගෙන ධර්මය පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන වාසය කරන්නේ වෙයි.

 

 

“ආනන්දය, දැන් හෝ මගෙන් පසුව හෝ යම්කිසිවෙක් තමා ආලෝකයක් කොට ගෙන තමා පිළිසරණ කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන ධර්මය ආලෝකයක් කොට ගෙන ධර්මය පිළිසරණ කොට අනිකක් පිහිට කොට නොගෙන වාසය කරන්නාහුද ආනන්දය, ඔව්හුම අග්‍ර භික්ෂූහු වෙත්. ඔව්හුම ශික්ෂාකාමීහු වෙත්යයි” වදාළේය.

( සංයුත්‌ත නිකාය -සතිපට්ඨාන සංයුක්තය)

 

සුත්‍රය ආශ්‍රිතව සිදු කරන ලද සියලුම දේශණා,

November 5th, 2016

Posted In:

Leave a Comment

 

යං කිඤ්චි දුක්ඛං සම්භොති, සබ්බං ආහාරපච්චයා;   ආහාරානං නිරොධෙන, නත්ථි දුක්ඛස්ස සම්භවො.

යම්කිසි දුකක් රැස් කෙරේද, සියල්ල ආහාරය හෙතු කොටගෙනය. ආහාරය නැතිවීමෙන් දුක් රැස්වීමක් නැත.

 

එතමාදීනවං ඤත්වා, දුක්ඛං ආහාරපච්චයාසබ්බාහාරං පරිඤ්ඤාය, සබ්බාහාරමනිස්සිතො.

ආහාරය හෙතුවෙන් දුකයයි, මේ දොෂය දැක සියලු ආහාරයන් දැන, සියලු ආහාර ඇසුරු නොකිරීමට.

(ද්වයතානුපස්සනා සූත්‍රය-සුත්තනිපාත )

 

දිට්ඨිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?

 

“ඇවැත්නි, ඇත්තේය, යම්තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙම ආහාරය දනීද, ආහාරයාගේ හේතුව දනීද, ආහාරයාගේ නැතිකිරීම දනීද, ආහාර නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාව දනීද මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි, ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.

 

“ඇවැත්නි, ආහාරය කවරේද? ආහාරයාගේ හෙතුව කවරේද? ආහාරයාගේ නැතිකිරීම කවරේද? ආහාර නැති කිරීමේ ප්‍රතිපදාව කවරේද? ඇවැත්නි, සත්ත්වයන්ගේ පැවැත්ම පිණිසද, සත්ත්වයන්ට අනුග්‍රහ පිණිසද පවත්නාවූ ආහාර සතරක් වෙත්. කවර සතරක්ද යත්? ඝනවූද සියුම් වූද කබලිංකාර ආහාරය (කන බොන ආහාරය) ද, දෙවෙනිවූ ස්පර්ශ ආහාරය (විඳීමට හෙතු වන්නාවූ සිතත් අරමුණත් ගැටීම) ද, තුන්වැනිවූ මනොසංචෙතනා ආහාරය (උත්පත්තියට හේතුවන කර්මය) ද, සතරවැනිවූ විඤ්ඤාණ ආහාරය (නාම රූපයන්ගේ පැවැත්මට හෙතුවූ විඤ්ඤාණය) ද යන සතරය.

 

“තෘෂ්ණාවගේ හටගැන්ම නිසා ආහාරයෙන් හටගැන්ම වේ. තෘෂ්ණාව නැතිකිරීමෙන් ආහාරයාගේ නැතිකිරීම වෙයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ආහාර නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාවයි. එනම් නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරැදි වචනය, නිවරැදි කර්මාන්තය, නිවැරැදි ක්‍රියාව, නිවැරැදි ව්‍යායාමය, නිවැරැදි සිහිය, නිවැරැදි සමාධිය යන මේයි. ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙම මෙසේ ආහාරය දනීද, මෙසේ ආහාරයාගේ හෙතුව දනීද, මෙසේ ආහාර නැතිකිරීම දනීද, මෙසේ ආහාර නැතිකිරීමට යන ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන් රාගය දුරුකොට ක්‍රොධය දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ගඥාන විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.

(මජ්ඣිම නිකාය- සම්මා දිට්ඨි සූත්‍රය)

 

 

මොළියඵග්ගුනසුත්තං

 

මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

 

“මහණෙනි, උපන් සත්වයින්ගේ පැවැත්ම පිණිසද, උපදිමින් සිටින සත්වයින්ට උපකාර පිණිසද, පවත්නාවූ මේ ආහාරයෝ (හෙතු) සතරක් වෙත්. කවර සතරක්ද යත්? මහත්වූ හෝ සියුම්වූ හෝ කබලිංකාර ආහාරය, දෙවැනිවූ ස්පර්ශාහාරය, තුන්වැනිවූ මනොසංචෙතනාහාරය, සතරවැනිවූ විඤ්ඤාණාහාරය යන මොහුයි. මහණෙනි, උපන් සත්වයින්ගේ පැවැත්ම පිණිසද, උපදිමින් සිටින්නාවූ සත්වයින්ට උපකාරය පිණිසද මේ සතර ආහාරයෝ පවතිත්.

 

මෙසේ වදාළ කල්හි, ආයුෂ්මත් “මෝළිය ඵග්ගුන” (නම් භික්ෂුව) භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය “ස්වාමීනි,කවරෙක් වනාහි විඤ්ඤාණය ආහාරය අනුභව කෙරේද?” කියායි.

 

භාග්‍යවතුන් වහන්සේ “ප්‍රශ්නය නුසුදුසුය”යි වදාළ සේක. ‘අනුභව කෙරේයයි මම නොකියමි ඉදින් මම අනුභව කෙරේයයි කියම් නම්, “ස්වාමීනි, කවරෙක් වනාහි අනුභව කෙරේද? යන ප්‍රශ්නය සුදුසු වන්නේය. මම වනාහි මෙසේ නොකියමි

 

මෙසේ නොකියන්නාවූ, මාගෙන් ‘ස්වාමීනි, විඤ්ඤාණ ආහාරය කුමකට උපකාර වේද?’ කියා මෙසේ යමෙක් අසයි නම්, එය සුදුසු ප්‍රශ්නයකි. විඤ්ඤාණආහාරය සසර නැවත ඉපදීමට උපකාර වෙයි. ඒ ඉපදීම ඇතිවූ කල්හි සළායතන ඇතිවෙයි. සළායතනයන් නිසා ස්පර්ශය ඇතිවේයයි කියා එහිදී විසඳීම සුදුසුය.”

 

“ස්වාමීනි, කවරෙක් වනාහි ස්පර්ශය කෙරේද?

 

“ප්‍රශ්නය නුසුදුසුයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘ස්පර්ශය කෙරේයයි’ මම නොකියමි. ඉදින් ‘ස්පර්ශය කෙරේයයි’ මම කියම් නම් එකල ‘ස්වාමීනි, කවරෙක් වනාහි ස්පර්ශය කෙරේද?’ යන ප්‍රශ්නය සුදුසු වන්නේය. මම වනාහි එසේ නොකියමි. එසේ නොකියන්නාවූ මාගෙන් ස්වාමීනි, ස්පර්ශය කුමක් නිසා ඇතිවේද?’ කියා, මෙසේ යමෙක් අසයි නම් එය සුදුසු ප්‍රශ්නයකි. සළායතනයන් නිසා ස්පර්ශය ඇති වෙයි. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේයයි කියා එහිදී විසඳීම සුදුසුය.”

 

“ස්වාමීනි, කවරෙක් වනාහි විඳීද?”

 

“ප්‍රශ්නය නුසුදුසුයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “විඳීයයි මම නොකියමි. ඉදින් මම විඳීයයි කියම් නම්, ‘ස්වාමීනි, කවරෙක් වනාහි විඳීද?’ යන ප්‍රශ්නය එහිදී සුදුසු වන්නේය. එසේ වනාහි මම නොකියමි. එසේ නොකියන්නාවූ මාගෙන් ස්වාමීනි කුමක් නිසා වේදනාව ඇතිවේද?’ කියා, මෙසේ යමෙක් අසයි නම්, මෙය සුදුසු ප්‍රශ්නයකි. එහිදී ස්පර්ශය නිසා වේදනාව ඇතිවෙයි. වේදනාව නිසා තණ්හාව ඇතිවේයයි කියා විසඳීම සුදුසුය.”

 

“ස්වාමීනි, කවරෙක් වනාහි ආශා කරයිද?”

 

භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නය නුසුදුසුයයි වදාළ සේක “මම ආශා කෙරේයයි නොකියමි. ඉදින් මම ආශා කෙරේයයි කියම් නම්, ‘ස්වාමීනි, කවරෙක් වනාහි ආශා කෙරේද?’ යන ප්‍රශ්නය එහිදී සුදුසු වන්නේය. එසේ වනාහි මම නොකියමි. එසේ නොකියන්නාවූ මාගෙන් ‘ස්වාමීනි, කුමක් නිසා ආශාව ඇතිවේද?” කියා මෙසේ යමෙක් අසයි නම් මෙය සුදුසු ප්‍රශ්නයකි. එහිදී වේදනාව නිසා තණ්හාව (ආශාව) ඇතිවේ. තණ්හාව නිසා උපාදානය (දැඩිකොට අල්වාගැනීම) ඇති වේයයි කියා විසඳීම සුදුසුය.”

 

“ස්වාමීනි, කවරෙක් වනාහි උපාදානය (දැඩිකොට අල්වාගැනීම) කෙරෙත්ද?”

 

භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නය නුසුදුසුයයි වදාළ සේක. “මම උපාදානය කෙරේයයි නොකියමි. ඉදින් මම උපාදානය කෙරේයයි කියම් නම් ‘ස්වාමීනි, කවරෙක් වනාහි උපාදානය ඇති කෙරේද?’ යන ප්‍රශ්නය එහිදී සුදුසු වන්නේය. එසේ වනාහි මම නොකියමි. එසේ නොකියන්නාවූ මාගෙන් ‘ස්වාමීනි, කුමක්නිසා උපාදානය ඇතිවේද?’ කියා මෙසේ යමෙක් අසයි නම්, මෙය සුදුසු ප්‍රශ්නයකි. එහිදී තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේ. ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝද ඇතිවෙත්. මෙසේ මේ සියලු තනිකර දුක් සමූහය ඇතිවෙයි.

 

“ඵග්ගුනය, සවැදෑරුම් ස්පර්ශායතනයන්ගේ මුළුමනින් නැසීම හෙතුකොටගෙන ස්පර්ශය නැතිවේ. ස්පර්ශය නැතිවීම හෙතුකොටගෙන වේදනාව නැතිවේ. වේදනාව නැතිවීම හෙතුකොටගෙන තණ්හාව නැතිවේ. තණ්හාව නැතිවීම හෙතුකොටගෙන උපාදානය නැතිවේ. උපාදානය නැතිවීම හෙතුකොටගෙන භවය නැතිවේ. භවය නැතිවීම හෙතුකොට ගෙන ඉපදීම නැතිවේ. ඉපදීම නැතිවීම හෙතුකොටගෙන ජරාව මරණය, ශෝකය. පරිදේව (හැඬීම) දුක්, දොම්නස් සහ උපායාසයෝ (තද ශෝක) නැතිවෙත්. මෙසේ මේ සියලු තනිකර දුක් සමූහය නැතිවෙයි.

(සංයුත්තනිකාය-නිදානසංයුත්තං-ආහාරවග්ගො- මොළියඵග්ගුනසුත්තං)

 

 

සතිපට්ඨාන සමුදය සූත්‍රය

 

“මහණෙනි, සතර සතිපට්ඨානයන්ගේ ඇතිවීමට හෙතුවද නැතිවීමද දෙශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, කයේ ඇතිවීමට හේතුව කවරේද? ආහාරය හේතු කොටගෙන කයේ හටගැනීම වේ. ආහාරය නැතිවීමෙන් කයේ නැතිවීම වේ. ස්පර්ශය හේතුකොටගෙන වේදනාවේ හට ගැනීමවේ ස්පර්ශය නැතිවීමෙන් වේදනාවේ නැතිවීම වෙයි. නාම රූපයන් හෙතුකොටගෙන චිත්තයාගේ හටගැනීම වේ. නාම රූපයන් නැතිවීමෙන් චිත්තයාගේ නැතිවීම වෙයි. මනසිකාරය හේතුකොටගෙන ධර්මයන්ගේ හටගැනීම වේ. මනසිකාරය නැතිවීමෙන් ධර්මයන්ගේ නැතිවීම වේ.”

(සංයුත්තනිකාය – සතිපට්ඨාන සංයුත්තය – අමත වර්ගය -සතිපට්ඨාන සමුදය සූත්‍රය)

 

අදාළ සියලු දේශණා සමුහය පහතින්, 

 

 

දේශනා ඇසුරින් සම්පාදනය වූ  “ආහාර හා සංසාර විමුක්තිය” පොත.

aharasaha

 

අනුයොමුව : විපස්සනා භාවනාවේදී සැලකිය යුතු කරුණු 

November 5th, 2016

Posted In:

Leave a Comment

 

මහණෙනි, මම (නුවණින්) දන්නහුට දක්නහුට ආස්‍රවයන්ගේ ක්‍ෂය කිරීම කියමි. නො දන්නහුට නො දක්නහුට නො කියමි. යලි දු මහණෙනි, කුමක් දන්නහුට කුමක් දක්නහුට ආස්‍රව ක්‍ෂය වේ ද? යොනිසොමනසිකාරය ද අයොනිසොමනසිකාරය ද (දන්නහුට දක්නහුට ආස්‍රව ක්‍ෂය) වේ. මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නහුට නුපන්නා වූ ද ආස්‍රවයෝ උපදිති. උපන්නාවූ ද ආස්‍රවයෝ වැඩෙති. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නහුට නුපන්නා වූ ද ආස්‍රවයෝ නුපදිති. උපන්නා වූ ද ආස්‍රවයෝ ප්‍රහීණ වෙති.

මහණෙනි, සෝවන්මගනුවණින් පහ කළ යුතු ආස්‍රව ඇත. ස්මෘතිසඞ්ඛ්‍යාත සංවරයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. ඥානසංවරසඞ්ඛ්‍යාත ප්‍රත්‍යවෙක්ෂාප්‍රතිසෙවනායෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. ක්ෂාන්තිසංවරසඞ්ඛ්‍යාත අධිවාසනායෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. ශීලසංවරසඞ්ඛ්‍යාත පරිවර්ජනයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. වීර්යසංවරසඞ්ඛ්‍යාත විනොදනයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. උපරිමාර්ගත්‍රය හා සම්ප්‍රයුක්ත බොධ්‍යඞ්ගයන්ගේ භාවනාවෙන් පහ කළ යුතු ආස්‍රව ඇත.

1. ඔහුට මෙනෙහි නො කළ යුතු ධර්මයන් මෙනෙහි නො කිරීමෙන් මෙනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන් නූපන් ආස්‍රවයෝත් නූපදිත්, උපන් ආස්‍රවයෝත් ප්‍රහීණ වෙත්. හේ මේ දුකැයි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛසමුදය යි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛනිරොධය යි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛනිරොධගාමිනීපටිපදාය යි නුවණින් මෙනෙහි කරයි. මෙසේ නුවණින් මෙනෙහි කරන ඔහුගේ සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස යන තුන් සංයෝජනයෝ ප්‍රහීණ වෙත. මහණෙනි, මොහු දර්ශනයෙන් (සෝවන් මඟින්) ප්‍රහීණ කළ යුතු ආස්‍රවයෝ යි කියනු ලැබෙත්.

2.මහණෙනි, සංවරයෙන් ප්‍රහීණ කළ යුතු ආස්‍රවයෝ කවරහ ? යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ නුවණින් සලකා චක්ෂුන්ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසේ ද, මහණෙනි, චක්ෂුන්ද්‍රිය සංවරයෙන් සංවෘත නො වී වසන්නහුට පීඩා කර වූ යම් (ක්ලේශ විපාක) පරිදාහ කෙනෙක් උපදිත් නම්, චක්ෂුන්ද්‍රිය සංවර සංවෘත ව වසන ඔහුට මෙසේ ඒ පීඩාකර පරිදාහයෝ නො වෙත්. නුවණින් සලකා ශෝතෙන්ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසේ ද… නුවණින් සලකා ඝ්‍රාණෙන්ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසේ ද… ජිව්හෙන්ද්‍රියසංවරයෙන්… කායෙන්ද්‍රිය සංවරයෙන්… මනින්ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසේ ද, මහණෙනි, මනින්ද්‍රිය සංවරයෙන් සංවෘත නො වී වසන්නහුට පීඩාකර වූ යම් පරිදාහ කෙනෙක් උපදිත් නම්, මනින්ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසෙන ඔහුට මෙසේ ඒ පීඩාකර පරිදාහයෝ නො වෙත්. මහණෙනි, යම් හෙයෙකින් සංවරයක් නැතිව වාසය කරන්නා වූ ඔහුට වෙහෙස හෝ දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, සංවරයෙන් යුක්ත ව වාසය කරන්නා වූ ඔහුට මෙසේ ඒ වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ සතිසංවරයෙන් පහ කළ යුත්තෝ ය යි කියනු ලැබෙත්.

3.මහණෙනි, ප්‍රත්‍යවෙක්ෂාඥානයෙන් පහ කළ යුතු ආස්‍රවයෝ කවරහ ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ නුවණින් සලකා හුදෙක් ශීත නැති කිරීම පිණිස, උෂ්ණ නැති කිරීම පිණිස, මැසි මදුරු සුළං අවු සපුන්ගේ ස්පර්ශ නැති කිරීම පිණිස, ලජ්ජාස්ථාන වසා ගැන්ම පිණිස පමණක් සිවුරු පරිභොග කෙරෙ යි. නුවණින් සලකා පිණ්ඩපාතය වළඳයි. (එය) ක්‍රීඩා පිණිස නො වේ ම ය. පුරුෂ මදය වැදීම පිණිස නො වේ ම ය. සැරසීම පිණිස නො වේ ම ය. අලංකාර පිණිස නො වේ ම ය. හුදෙක් මේ ශරීරයාගේ පැවැත්ම පිණිස ම ය. යැපීම පිණිස ම ය. බඩගිනි වැළැක්වීම පිණිස ම ය. බ්‍රහ්මචර්යාව රැකීමට අනුබලයක් සඳහා ම ය. මෙසේ පැරණි බඩගිනි වෙදනාවන් නැති කරන්නෙමි. අලුත් වෙදනා ද නූපදවන්නෙමි. එයින් මාගේ ජීවිතය පැවැත්ම ද වන්නේ ය. නිවැරදි බව ද වන්නේ ය. සැප විහරණය ද වන්නේ යි (සලකා පිණ්ඩපාතය වළඳයි). හුදෙක් ශීත නැති කිරීම පිණිස, උෂ්ණය නැති කිරීම පිණිස, මැසි මදුරු සුළං අවු සපුන්ගේ ස්පර්ශ නැති කිරීම පිණිස, ඍතුපීඩා නැති කිරීම පිණිස විවෙකයෙහි ඇලීම් පිණිස පමණක් ය යි නුවණින් සලකා සෙනසුන සෙවනය කරයි. හුදෙක් උපන්නා වූ නොයෙක් ආබාධයන්ගේ වෙදනා නැති කිරීම පිණිස, රොග දුක් නැති ව සිටීම පිණිස පමණක් සෙවනය කරමි යි නුවණින් සලකා ගිලන්පස බෙහෙත් ආදිය සෙවනය කරයි. මහණෙනි, යම් හෙයෙකින් ප්‍රත්‍යවෙක්ෂා නො කරන්නා වූ ඔහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, ප්‍රත්‍යවෙක්ෂා කරන්නාට මෙසේ ඒ දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ ප්‍රත්‍යවෙක්ෂාවෙන් පහ කළ යුත්තෝය යි කියනු ලැබෙත්.

4.මහණෙනි, අධිවාසනායෙන් පැහිය යුතු ආස්‍රවයෝ කවරහ ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ නුවණින් සලකා ශීත ඉවසන සුල්ලෙක් වෙයි. උණුසුම ද, බඩගින්න ද, පවස ද, මැසි, මදුරු, සුළං, අවු, සපුන්ගේ ස්පර්ශ ද, නපුරු කොට කියූ, නපුරු ලෙස පැමිණි වචන ද ඉවසන සුල්ලෙක් වෙයි. උපන් ශාරීරික වූ, තියුණු වූ රළු වූ කටුක වූ අමිහිරි වූ අමනාප වූ දිවි පැහැර ගන්නා වූ වෙදනා ඉවසන සුල්ලෙක් වෙයි. යම් හෙයෙකින් නො ඉවසන්නා වූ ඔහුට වෙහෙසකර දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, මෙසේ ඉවසන්නා වූ ඔහුට වෙහෙසකර දැවිලි සහිත ආස්‍රවයෝ නූපදිත්. මහණෙනි, මේ අධිවාසනායෙන් පහ කළ යුතු ආස්‍රවයෝ යි කියනු ලැබෙත්.

5. මහණෙනි, දුරු කිරීමෙන් පැහිය යුතු ආස්‍රවයෝ කවරහ ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ නුවණින් සලකා නපුරු ඇතු දුරු කෙරෙ යි. නපුරු අසු දුරු කෙරෙ යි. නපුරු ගොනු දුරු කෙරෙ යි. නපුරු බලු දුරු කෙරෙයි. සපු, කණු, කටුලැහැබ, හෙබ, පවයින්, ගවරවළ, මොළඟ දුරු කෙරෙයි. යම් බඳු නුසුදුසු අස්නෙහි හුන්නහු, යම්බඳු නුසුදුසු තන්හි හැසිරෙන්නහු, යම්බඳු පවිටු මිත්‍රයන් සෙවනය කරන්නහු නුවණැත්තා වූ සබ්‍රම්සරහු ලාමක තන්හි ලා සලකන්නාහු ද, ඒ තෙමේ ඒ නො අසුන ද ඒ අගොචාරය ද ඒ පාපමිත්‍රයන් ද නුවණින් සලකා දුරු කෙරෙ යි. මහණෙනි, යම් හෙයෙකින් එබඳු දේ දුරු නො කරන්නහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, මෙසේ එබඳු දේ දුරු කරන්නහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ දුරු කිරීමෙන් පැහිය යුත්තෝ ය යි කියනු ලැබෙත්.

6.මහණෙනි, විනොදනයෙන් (දෝෂ සැලකීම් සහිත වීර්යයෙන්) පහ කළ යුතු ආස්‍රවයෝ කවරහ ? යත්: මහණෙනි, මේ ලොකයෙහි මහණ තෙමේ නුවණින් සලකා උපන් කාමවිතර්කය සිත තබා නො ගනියි, දුරු කරයි, බැහැර කරයි, විනාශ කරයි. නැවත නො ඉපදීමට පමුණුව යි. උපන්නා වූ ව්‍යාපාදවිතර්ක සිත තබා නො ගනියි, දුරු කරයි, බැහැර කරයි, විනාශ කරයි, නැවත නො ඉපදීමට පමුණුවයි. උපන්නා වූ විහිංසා විතර්කය…උපනුපන් ලාමක අකුශල ධර්මයන් සිත තබා නො ගනියි, දුරු කරයි, බැහැර කරයි, විනාශ කරයි, නැවත නො ඉපදීමට පමුණුවයි. මහණෙනි, යම් හෙයකින් එබඳු දේ දුරු නො කරන්නා වූ ඔහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, මෙසේ එබඳු දේ දුරු කරන්නහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ විනොදනයෙන් පැහිය යුත්තෝ ය යි කියනු ලැබෙත්.

7.මහණෙනි, භාවනාවෙන් පැහිය යුතු ආස්‍රවයෝ කවරහ ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ නුවණින් සලකා විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවණට නැඹුරු සතිසම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයි… නුවණින් සලකා ධම්මවිචය සම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයි… විරියසම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයි… පීතිසම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයි… පස්සද්ධි සම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයි… සමාධිසම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරොධය ඇසුරු කළ නිවණට නැඹුරු උපෙක්ඛා සම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයි. මහණෙනි, යම් හෙයෙකින් බොජ්‌ඣඞ්‌ග නො වඩන්නාට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, මහණෙනි, මෙසේ ඒ බොජ්‌ඣඞ්‌ග වඩන්නා වූ ඔහුට ඒ වෙහෙස දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ භාවනාවෙන් පැහිය යුත්තෝ ය යි කියනු ලැබෙත්.

 

සබ්බාසව සුත්‍රය ආශ්‍රිත මෙතෙක් සිදු කල සියලු දේශණා,

 

 

දේශනා ඇසුරින් සම්පාදනය වූ  “සබ්බාසව සුත්‍රය” පොත.

 

November 5th, 2016

Posted In:

Leave a Comment

 

2016 සැප්තැම්බර් මස 03,10,24 සහ ඔක්තෝම්බර් මස 01 යන දින තුල පහළ ඉඹුල්ගොඩ විජයවර්ධන ශ්‍රී මහා විහාරයේදී ( කන්දෙ පන්සල ) පවත්වනු ලබන භාවනා වැඩමුළුව ඇතුළු එහිදී සිදු කල අනෙකුත් දේශනා

 

October 8th, 2016

Posted In:

Leave a Comment

 

2016 අගෝස්තු මස 30 සහ 31 දිනයන්හීදී අංක 411 , නව හගුරන්කෙත, තලාව යන ස්ථානයේ පිහිටි නව ජයගංගාරාමයේ පැවැත්වූ ධර්ම දේශනාව.

 

August 30th, 2016

Posted In:

Leave a Comment

 

2016 අගෝස්තු මස 28 දින උදයකාන්ති මහත්මියගේ නිවසේ පැවැත්වූ ධර්ම දේශනාව.

 

August 28th, 2016

Posted In:

Leave a Comment

 

2016 අගෝස්තු මස 13,20 සහ 27 යන දිනයන්හිදී පිලියන්දල ශ්‍රි විද්‍යාශාන්ති විහාරස්ථානයේදී පවත්වනු ලැබූ භාවනා වැඩමුළුව.

 

>

 

August 13th, 2016

Posted In:

Leave a Comment

 

July 19th, 2016

Posted In:

Leave a Comment

 

“සබ්බ පාපස්ස අකරණං” ගාථාවේ කියවෙන සංසාර විමුක්තිය !!!

 

sabba_paapassa

 

 

 

හික්කඩුව, සීනිගම කුසුමාරාම පුරාණ මහා විහාරයේ 2016 ජුලි මස 16,23,30 හා අගෝස්තු 06 දිනයන්හීදී පවත්වන්නට යෙදුනු භාවනා වැඩමුළුව.

 

 

 

July 16th, 2016

Posted In:

Leave a Comment

« Previous PageNext Page »

Nonprofit (2016Nov)  –  Powered by Pixalogy.lk