0777304415 , 0703300135     info@medamawatha.lk

 

 

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ අයොධ්‍ය නම් නුවර ගංගානම් ගංඉවුරෙහි වැඩවසන සේක. භාග්‍යවතුන් වහන්සේ ගංගානම් නදියෙහි දිය පහරින් ගසාගෙන යන්නාවූ මහත්වූ දර කඳක් දුටුසේක. දැක භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක.

 

මහණෙනි, ගංගානම් ගඟේ දිය පහරින් ගසාගෙන යන්නාවූ අර මහත්වූ දරකඳ තෙපි දක්නහුද? එසේය, ස්වාමීනි.

 

මහණෙනි, ඉදින් දරකඳ මෙතෙරට නොපැමිනේද, එතෙරට නොපැමිනේද, ගඟ මැද නොගිලෙන්නේද, ගොඩට නොගසන්නේද, මනුෂ්‍යයන්ගේ ගැනීමක් නොවන්නේද, අමනුෂ්‍යයන්ගේ ගැනීමක් නොවන්නේද, දිය සුළියකට හසු නොවන්නේද, ඇතුළ කුණුවීමක් නොවන්නේද, මහණෙනි, මෙසේ වනාහි ඒ දරකඳ මුහුද කරා නැමුනේ වන්නේය. මුහුදට ගසා යන්නේ මුහුද දෙසට බරවූයේ වන්නේය. ඊට හේතු කවරේද, මහණෙනි, ගංගා නදියේ දියපාර මුහුදට නැමීම ඇත්තේය. මුහුදට නැඹුරුවූයේය. මුහුදට බරවූයේය.

 

මහණෙනි, මෙපරිද්දෙන්ම ඉදින් තෙපිදු මෙතෙරට නොපැමිණෙන්නෙහුද, එතෙරට නොපැමිණෙන්නෙහුද, මැද නොගිලෙන්නහුද, ගොඩට නොනගින්නහුද, , මනුෂ්‍යයන්ගේ ගැනීමක් නොවන්නහුද, අමනුෂ්‍යයන්ගේ ගැනීමක් නොවන්නහුද, මහණෙනි, එසේ තෙපි නිවණට නැමීම ඇත්තෝ නිවණට නැඹුරුවූවෝ නිවණට බරවූවෝ වන්නාහුය. ඊට හේතු කවරේද, මහණෙනි, සම්‍යක් දෘෂ්ටිය නිවණට නැමුනාවූ නිවන් කරා ගමන් කරන්නාවූ නිවනට නැඹුරුවූ ධර්‍මයකැයි, වදාළ සේක.

 

මෙසේ වදාළ කල්හි එක්තරා භික්‍ෂුවක්තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය. , සවාමීනි, මෙතෙර නම් කුමක්ද එතෙර නම් කුමක්ද, මැද ගිලා බැසීම නම් කුමක්ද, ගොඩට නැගීම නම් කුමක්ද, මිණිසුන්ගේ අල්වා ගැනීම නම් කුමක්ද, අමනුෂ්‍යයන්ගේ අල්වාගැනීම නම් කුමක්ද, දිය සුළියට අසුවීම නම් කුමක්ද, ඇතුලත කුණුවීම නම් කුමක්ද යනුයි.

 

මහණ, මෙතෙර යනු සවැදෑරුම්වූ අධ්‍යාත්මිකවූ ආයතනයන්ට නමකි. මහණ, එතෙර යනු සවැදෑරුම් බාහිර ආයතනයන්ට නමකි. මහණ, මැද ගිලාබැසීම යනු නන්‍දිරාගයට නමකි. මහණ, ගොඩට නැගීම යනු අස්මිමානයට නමකි.

 

මහණ, මිනිසුන් අල්වා ගැනීම නම් කවරේද, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම ගිහින් සමග එකතුවී වාසය කෙරේද, සමග සතුටුවීම් ඇත්තේ, සමග සෝකවීම් ඇත්තේ සුවපත්වූ කල්හි සුවපත්වූයේ දුකට පත්වූ කල්හි දුකට පත්වූයේ උපන්නාවූ වැඩකටයුතු ඇතිකල්හි තෙමේම ඒ කටයුතුවල යෙදීමට පැමිණේද, මහණ, මෙය මිනිසුන් විසින් අල්වා ගැනීමයයි කියනු ලැබේ.

 

මහණ, අමනුෂ්‍යයන්ගේ ගැනීම නම් කවරේද, මහණ, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් එක්තරා දිව්‍ය නිකායක් ප්‍රාර්ත්‍ථනාකොට බ්‍රහ්මචර්‍ය්‍යාව රකීද, මම මේ සීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් හෝ දෙවියෙක් හෝ වන්නෙමි. දෙවියන්ගෙන් එක්තරා අයෙක් හෝ වන්නෙමි කියායි. මහණ, මෙය අමනුෂ්‍යයන් විසින් අල්වාගැනීම යයි කියනු ලැබේ.

 

මහණ, දියසුළියට අසුවීම යනු මේ පඤ්චකාම ගුණයන්ට නමකි.

 

මහණ, ඇතුලත කුණුවීම නම් කවරේද, මහණ, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් දුස්සීලවූයේ ලාමක ස්වභාව ඇත්තේ අපවිත්‍ර සැකකටයුතු හැසුරුම් ඇත්තේ, සැඟවුණු ක්‍රියා ඇත්තේ ශ්‍රමණ නොවූයේ ශ්‍රමණයාය යන ප්‍රතිඥා ඇත්තේ බ්‍රහ්මචාරී නොවූයේ බ්‍රහ්මචාරී යන හැඟවීම ඇත්තේ ඇතුලත කුණුවූයේ කෙලෙස් වැගිරීම ඇත්තේ හටගත් කෙලෙස් කසල ඇත්තේවේද, මහණ, මෙය ඇතුලත කුණුවීමයයි කියනු ලැබේයයි, වදාළහ.

 

එසමයෙහි වනාහි නන්‍ද නම් ගෝපාලතෙම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි සිටියේ වෙයි. ඉක්බිති නන්‍ද නම් ගෝපාලතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. , සවාමීනි, මම වනාහි මෙතෙරට නොපැමිණෙමි. එතෙරට නොපැමිණෙමි. මැද නොගිලෙන්නෙමි. ගොඩට නොනැගෙන්නෙමි. මිනිසුන්ට අසුනොවන්නෙමි. අමනුෂ්‍යයන්ට හසු නොවන්නෙමි. දියසුළි වලට හසු නොවන්නෙමි. ඇතුල කුණුවූවෙක් නොවන්නෙමි. සවාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මහණකමද, උපසම්පදාවද ලබන්නෙමි., (යනුයි.)

 

නන්‍දය, එසේ වී නම් නුඹ හිමියන්ට ගවයන් බාරදෙවයි, (වදාළේය.)

 

සවාමීනි, වස්සන් කෙරෙහි ගිජුවූ දෙන්නු යන්නාහුයයි, (කීහ.)

 

නන්‍දය, නුඹ විසින් හිමියන්ට ගවයන් බාරදීම කළයුතුමයයි, (වදාළහ.)

 

ඉක්බිති නන්‍ද ගෝපාල තෙම හිමියන්ට ගවයන් භාරදී, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ස්වාමීනි, හිමියන්ට ගවයෝ බාරදෙන ලදහ. ස්වාමීනි, මම භාග්‍යවගුන් වහන්සේ සමීපයෙහි මහණකමද, උපසම්පදාවද ලබන්නෙමි’’ යි (කීය.)

 

නන්‍ද නම් ගෝපාල තමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මහණකමද ලැබීය. උපසම්පදාවද ලැබීය. උපසපන්වූ නොබෝ කල් ඇත්තාවූ ආයුෂ්මත් නන්‍ද තෙමේ එකලාවූයේ, සමූහයාගෙන් වෙන්වූ වාසය ඇත්තේ, අප්‍රමාදව, කෙලස් තවන වීර්‍ය්‍ය ඇතිව වාසය කරමින් නොබෝ කලකින්ම යමක් සඳහා කුලප්‍රත්‍රයෝ මනාකොටම ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවෙත්ද, බ්‍රහ්මචර්‍ය්‍යාව කෙළවරකොට ඇති ඒ උතුම් අර්ථය මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කෙළේය. ජාතිය ක්‍ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර නිමවන ලදී. සතර මගින් කළයුත්ත කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කලයුතු අනිකක් නැතැයි විශේෂයෙන් දැනගත්තේය. ආයුෂ්මත් නන්‍දතෙමේ රහතුන්ගෙන් එක්තරා අයෙක් වූයේයයි (වදාළහ.)

 

 


 

මෙතෙර  – සවැදෑරුම්වූ අධ්‍යාත්මිකවූ ආයතනයන්

 

එතෙර  – සවැදෑරුම් බාහිර ආයතනයන්

 

මැද ගිලාබැසීම  – නන්‍දිරාගය

 

ගොඩට නැගීම  – අස්මිමානය

 

මිනිසුන්ට අසුවීම  – මනුෂ්‍යය සම්පත් පාර්ථනාකිරීම

 

අමනුෂ්‍යයන්ට අසුවීම  – දිව්‍ය සම්පත් පාර්ථනාකිරීම

 

දියසුළි වලට අසුවීම  – පඤ්චකාම ගුණයන්

 

ඇතුල කුණුවීම  – දුස්ශීලකම

 

(සංයුත්තනිකාය – සළායතන සංයුත්තය – ආසිවිස වර්‍ගය – දාරුක්ඛන්‍ධ සූත්‍රය)

 

Nonprofit (2016Nov)  –  Powered by Pixalogy.lk