මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ උදය කාලයෙහි හැඳ පාත්‍ර සිව්රු ගෙන එක්තරා භික්ෂුණී ආශ්‍රමයක් යම් තැනෙක්හිද එතැනට ගියේය. ගොස් පනවන ලද ආසනයෙහි හිඳ ගත්තේය.
එකල්හි බොහෝ භික්ෂුණීහු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ යම් තැනෙක්හිද එතැනට පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වැඳ, එක්පසෙක හිඳගත්හ. එක්පසෙක හිඳගත් ඒ භික්ෂුණීහු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙසේ කීහ. ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන් වහන්ස, මෙහි බොහෝ භික්ෂුණීහු සතර සතිපට්ඨානයන්හි මනාකොට පිහිටුවන ලද සිත් ඇතිව වාසය කරමින් වඩ වඩා උසස් විශෙෂයන් අවබොධ කරත්.
‘නැගනිවරුනි, එය එසේමය. නැගනිවරුනි, එය එසේමය. නැගනිවරුනි, යම්කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ සතර සතිපට්ඨානයන්හි මනාකොට පිහිටුවන ලද සිත් ඇතිව වාසය කෙරේද, ඔහු වඩ වඩා උසස් විශෙෂ අවබොධ කරන්නේය යන මෙය කැමතිවිය යුතුයයි, කීය.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ ඒ භික්ෂුණීන්හට දැහැමි කථාවකින් කරුණු දක්වා සමාදන් කරවා සිත් තියුණු කරවා සිත් පහදවා ආසනයෙන් නැගිට ගියේය.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ සැවැත් නුවර පිඬු පිණිස හැසිර පසු බත් කාලයෙහි පිණ්ඩපාතයෙන් ආපසු පැමිණියේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක් හිද එතැනට පැමීණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, මම උදය කාලයෙහි හැඳ පාත්‍ර සිවුරු ගෙන එක්තරා භික්ෂුණී ආශ්‍රමයක් යම් තැනෙකද එහි ගියෙමි. ගොස් පනවන ලද ආසනයෙහි හිඳ ගත්තෙමි. ස්වාමීනි, එකල්හි බොහෝ භික්ෂුණීහු මම යම් තැනෙක්හිද එහි පැමිණියහ. පැමිණ මාහට වැඳ එක්පසෙක හිඳගත්හ. එක්පසෙක හිඳගත් ඒ භික්ෂුණීහු මට මෙසේ කීහ. ‘ස්වාමීනි, ආනන්ද ස්ථවිරයෙනි, බොහෝ භික්ෂුණීහු සතර සතිපට්ඨානයන්හි පිහිටුවන ලද සිත් ඇතිව වාසය කිරීමෙන් වඩ වඩා උසස් විශෙෂයන් අවබොධ කරත්’යි.
“ස්වාමීනි, මෙසේ කියන ලද්දාවූ මම ඒ භික්ෂුණීන්හට මෙසේ කීයෙමි. ‘නැගනිවරුනි, ඒ එසේමය. නැගනිවරුනි එසේමය. නැගනිවරුනි, යම් භික්ෂුවක් හෝ යම් භික්ෂුණියක් හෝ සතර සතිපට්ඨානයන්හි පිහිටුවන ලද සිත් ඇතිව වාසය කෙරේද ඔහු වඩ වඩා උසස් විශෙෂයන් අවබොධකරන්නේය යන මෙය කැමැතිවිය යුතුය”යි.
“ආනන්දය, ඒ එසේමය. ආනන්දය, ඒ එසේමය. ආනන්දය, යම්කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ සතර සතිපට්ඨානයන්හි මනාව පිහිටුවන ලද සිත් ඇතිව වාසය කරයිද ඔහු වඩ වඩා උසස් විශෙෂයන් අවබොධ කරන්නේය යන මෙය කැමතිවිය යුතුයි.
“කවර සතරෙක්හිද යත්? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙමේ වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලොකයෙහි ලොභ ද්වෙෂයන් දුරු කොට කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරයිද, ඒ කයෙහි කය නැවත බලමින් වාසය කරන්නාවූ ඔහුට කය අරමුණු කොට කයෙහි ක්ලෙශ දාහයක් උපදින්නේ හෝ වෙයිද, සිතෙහි හැකිලීමක් උපදින්නේ හෝ වෙයිද, පිටත් අරමුණුවල සිත විසිර යන්නේ හෝ වෙයිද, ආනන්දය, ඒ භික්ෂුව විසින් යම්කිසි ප්‍රසාදය උපදින අරමුණක (පණිධාය භාවනා) සිත පිහිටු විය යුතුයි. කිසියම් ප්‍රසාදය උපදින අරමුණක සිත පිහිටවූ ඔහුට තරුණ ප්‍රීතිය උපදියි, තරුණ ප්‍රීතිය උපන් ඔහුට බලවත් ප්‍රීතිය උපදියි, බලවත් ප්‍රීතියෙන් යුත් ඔහුගේ නාම කය සංසිඳෙයි. සන්සිඳුනු කය ඇත්තේ සැපය ලබයි. සැපවත් වූවහුගේ සිත සමාධියට පැමිණෙයි. හෙතෙම මෙසේ සිතයි. මම වනාහි යම් අර්ථයක් පිණිස සිත පැහැදිය යුතු අරමුණෙක්හි තැබුයෙම්ද ඒ මාගේ අර්ථය මුදුන් පැමිණියේය. දැන් එය ඉවත් කරමි’යි හෙතෙම එම අරමුණෙන් සිත ඉවත් කරන්නේද වෙයි. ක්ලෙශ විතර්කයක් නොසිතන්නේද වෙයි. ක්ලෙශ විචාරයක් නූපදන්නේද වෙයි. ‘ක්ලෙශ විතර්ක විචාර රහිත වූයෙමි. භාවනාරම්මණයෙහි සිහියෙන් යුක්ත වෙමි. සැපයෙන් යුක්ත වෙමියි’ දැනගනියි.
“නැවත අනිකක්ද කියමි. ආනන්දය, මහණතෙම වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලොකයෙහි ලෝභ ද්වෙෂයන් දුරුකොට වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කරයිද, වේදනාවන්හි වේදනා නැවත නැවත බලමින් වාසය කරන්නාවූ ඔහුට වේදනාව අරමුණු කොට කයෙහි ක්ලෙශ දාහයක් උපදින්නේ හෝ වෙයිද, සිතෙහි හැකිලීමක් උපදින්නේ හෝ වෙයිද, පිටත් අරමුණුවල සිත විසිර යන්නේ හෝ වෙයිද. ආනන්දය, ඒ භික්ෂුව විසින් යම්කිසි ප්‍රසාදයක් උපදින අරමුණක (පණිධාය භාවනා) සිත පිහිට විය යුතුයි. කිසියම් ප්‍රසාදය උපදින අරමුණක සිත පිහිටවූ ඔහුට තරුණ ප්‍රීතිය උපදියි. තරුණ ප්‍රීතිය උපන් ඔහුට බලවත් ප්‍රීතිය උපදියි. බලවත් ප්‍රීතියෙන් යුත් ඔහුගේ නාම කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇත්තේ සැපය ලබයි. සැපවත් වූවහුගේ සිත සමාධියට පැමිණෙයි. හෙතෙම මෙසේ සිතයි. ‘මම වනාහි යම් අර්ථයක් පිණිස සිත පැහැදිය යුතු අරමුණෙක්හි තැබූයෙම්ද, ඒ මාගේ අර්ථය මුදුන් පැමිණියේය, දැන් එය ඉවත් කරමි’යි හෙතෙම එම අරමුණෙන් සිත ඉවත් කරන්නේද වෙයි. ක්ලෙශ විතර්කයක් නොසිතන්නේද වෙයි. ක්ලෙශ විචාරයක් නූපදින්නේද වෙයි ‘ක්ලෙශ විතර්ක විචාර රහිත වූයෙමි. භාවනාරම්මණයෙහි සිහියෙන් යුක්ත වෙමි. සැපයෙන් යුක්ත වෙමියි’ දැන ගනියි.
“නැවත අනිකක්ද කියමි. ආනන්දය, මහණතෙමේ වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලොකයෙහි ලොභ ද්වෙෂයන් දුරුකොට චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරයිද චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරන්නාවූ ඔහුට සිත අරමුණු කොට කයෙහි ක්ලෙශ දාහයක් උපදින්නේ හෝ වෙයිද, සිතෙහි හැකිලීමක් උපදින්නේ හෝ වෙයිද පිටත් අරමුණුවල සිත විසිරයන්නේ හෝ වෙයිද ආනන්දය, ඒ භික්ෂුව විසින් යම්කිසි ප්‍රසාදය උපදින අරමුණක (පණිධාය භාවනා) සිත පිහිට විය යුතුයි. කිසියම් ප්‍රසාදය උපදින අරමුණක සිත පිහිටවූ ඔහුට තරුණ ප්‍රීතිය උපදියි. තරුණ ප්‍රීතිය උපන් ඔහුට බලවත් ප්‍රීතිය උපදියි. බලවත් ප්‍රීතියෙන් යුත් ඔහුගේ නාම කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇත්තේ සැපය ලබයි. සැපවත් වූවහුගේ සිත සමාධියට පැමිණෙයි. හෙතෙම මෙසේ සිතයි. ‘මම වනාහි යම් අර්ථයක් පිණිස සිත පැහැදිය යුතු අරමුණෙක්හි තැබූයෙම්ද ඒ මාගේ අර්ථය මුදුන්පැමිණියේය දැන් එය ඉවත් කරමියි’ හෙතෙම එම අරමුණෙන් සිත ඉවත් කරන්නේද වෙයි. ක්ලෙශ විතර්කයක් නොසිතන්නේද වෙයි. ක්ලෙශ විචාරයක් නූපදවන්නේද වෙයි. ක්ලෙශ විතර්ක විචාර රහිත වූයෙමි. භාවනාරම්මණයෙහි සිහියෙන් යුක්ත වෙමි. සැපයෙන් යුක්ත වෙමියි’ දැනගනියි.
“නැවත අනිකක්ද කියමි. ආනන්දය මහණතෙම වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ස්කන්ධලොකයෙහි ලොභ ද්වෙෂයන් දුරුකොට ධර්මයන්හි ධර්මයන් නැවත නැවත ලබමින් වාසය කරයිද, ධර්මයන්හි ධර්මයන් නැවත නැවත ලබමින් වාසය කරන්නාවූ ඔහුට ධර්මයන් අරමුණු කොට කයෙහි ක්ලෙශ දාහයක් උපදින්නේ හෝ වෙයිද සිතේ හැකුළුණු බවක් උපදින්නේ හෝ වෙයිද පිටත් අරමුණක සිත දුවන්නේ හෝ වෙයිද ආනන්දය, ඒ භික්ෂුව විසින් යම්කිසි පැහැදියයුතු අරමුණක සිත පිහිට විය යුතුයි. සිත පැහැදිය යුතු අරමුණක පිහිටවූ ඔහුට තරුණ ප්‍රීතිය උපදියි. තරුණ ප්‍රීතිය උපන්නහුට බලවත් ප්‍රීතිය උපදියි. බලවත් ප්‍රීතිය උපන්නහුගේ නාම කය සංසිඳෙයි. සංසිඳුණු නාම කය ඇත්තේ සැප වේදනා ඇත්තේ වෙයි. සැප වේදනා ඇත්තහුගේ සිත සමාධියට පැමිණෙයි. හෙතෙම මෙසේ සිතයි. ‘මම යම් අර්ථයක් සඳහා සිත පැහැදිය යුතු අරමුණෙක්හි තැබුයෙම්ද මාගේ ඒ අර්ථය මුදුන් පැමිණියේය. දැන් සිත එයින් ඉවත් කරමියි’ හෙතෙම ඒ අරමුණෙන් සිත ඉවත් කරන්නේද වෙයි. ක්ලෙශ විතර්කයන් නොසිතන්නේද වෙයි. ක්ලෙශ විචාරයන් නූපදවන්නේද වෙයි. ක්ලෙශ විතර්ක නැත්තේ වෙමි. අකුසල විචාර නැත්තේවෙමි. භාවනාරම්මණයෙහි උපන් සිහියෙන් යුක්තවූයෙම් සැප ඇත්තෙමියි දනියි. ආනන්දය, මෙසේ වනාහි පණිධාය (කමටහන් අරමුණෙන් අන් අරමුණක සිත ටික වේලාවක් තබා) කරන භාවනාව වෙයි.
“ආනන්දය, කෙසේ නම් සිත පිටත් අරමුණක නොතබා කරන භාවනාව වෙයිද? ආනන්දය, මහණතෙම සිත පිටත් අරමුණක නොතබා ‘මා විසින් පිටත් අරමුණක සිත නොතබන ලදැයි’ දැනගනියි. ඉක්බිති පූර්වය යයි කියන ලද මුල් කර්මස්ථානයෙහිද පසුයයි කියනලද අර්හත්වයෙහිද සිත නොහැකුළුණේය. කෙලෙසුන්ගෙන් මිදුණේය. සිත පිටත් අරමුණක නොතබන ලදැයි දැනගනියි. නැවතද වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරමි. සැපයෙන් යුක්ත වෙමියි’ දැනගනියි.
“ආනන්දය, මහණතෙම සිත පිටත් අරමුණක නොතබා ‘මා විසින් පිටත් අරමුණක සිත නොතබන ලදැයි’ දැනගනියි. ඉක්බිති පළමුව හා පසුව සිත නොහැකුළුණේය. කෙලෙසුන් කෙරෙන් මිදුණේය. පිටත් අරමුණක සිත නොතබන ලදැයි’ දැනගනියි. නැවතද වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව වෙදනාවන්හි වෙදනාවන් නැවත නැවත බලමින් වාසය කරමි. සැපයෙන් යුක්ත වෙමියි දැනගනියි.
“ආනන්දය, මහණ තෙමේ පිටත් අරමුණෙක්හි සිත නොපිහිටුවා ‘මා විසින් පිටත් අරමුණක සිත නොතබනලදැයි’ දැනගනියි. ඉක්බිති පළමුව හා පසුව සිත නොහැකුළුණේය. කෙලෙසුන් කෙරෙන් මිදුණේය. පිටත් අරමුණක නොපිහිටුවන ලදැයි’ දැනගනියි. තවද වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කරමි. සැප ඇත්තෙමියි’ දැනගනියි.
“ආනන්දය, මහණතෙම සිත පිටත් අරමුණක නොතබා ‘මා විසින් සිත පිටත් අරමුණක නොතබන ලදැයි දැනගනියි. නැවත පළමුව හා පසුව සිත නොහැකුළුණේය. කෙලෙසුන් කෙරෙන් මිදුණේය. පිටත් අරමුණක නොතබන ලදැයි’ දැනගනියි. නැවත වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ධර්මයන්හි ධර්මයන් අනුව නැවත නැවත බලමින් වාසය කරමි. සැපයෙන් යුක්තවෙමියි දැන ගනියි.
“ආනන්දය, මෙසේ වනාහි සිත අන් අරමුණක නොතබා කරන භාවනාව වේ. ආනන්දය, මෙසේ ‘මා විසින් සිත අන් අරමුණක (පණිධාය භාවනා) තබා කරන භාවනාවත් අන් අරමුණක නොතබා (අප්පණිධාය භාවනා) කරන භාවනාවත් දෙශනා කරන ලදහ. ආනන්දය, හිතෙසීවූ ශාස්තෘවරයෙකු විසින් ශ්‍රාවකයන්හට යමක් කටයුතු නම් එය මා විසින් තොපට අනුකම්පා උපදවා කරනලදී. ආනන්දය, මේ වෘක්ෂ මූලයෝය. මේ සූන්‍යාගාරයෝය. ආනන්දය, ධ්‍යාන කරව්. ප්‍රමාද නොවව්. පසුව පසුතැවිලි වූවෝ නොවව්. මේ වනාහි අපගේ අනුශාසනාවයි.”
(සංයුත්තනිකාය–මහාවග්ගපාළි–සතිපට්ඨානසංයුත්තය–අම්බපාලිවග්ග– භික්ඛුනුපස්සයසුත්තං)