0777304415 , 0703300135     info@medamawatha.lk

 

දීඝනිකායේ මහා සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාව යටතේ ඇති මුල්ම භාවනා ක්‍රමය ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අංග අටම වැඩෙන ආකාරය පැහැදිලිව දක්වා ඇත. මේ සම්බන්ධව පහත කරුණු තේරුම් ගෙන ආධුනිකයන්ට ද මෙම භාවනාව පුරුදු කළ හැකවෙි.

 

  • කය සෘජුව තබා ගෙන බිම හෝ කුඩා පුටුවක වාඩිවීමෙන් භාවනාවට සූදානම් විය හැක.
  • ඉන්පසුව ඇස් දෙක පියාගෙන තමාගේ හුස්ම පිළිබඳව අවධානය යොමු කළ යුතු වේ.
  • මෙසේ අවධානය යොමු කරණු ලබන්නේ තමාගේ නාසාආග්‍රයෙන්, තොල ආදී ස්ථානවල ආශ්වාසය හා ප්‍රාශ්වාසය එම කායික කොටස්වල ස්පර්ශ වන ආකාරය පිළිබඳව දැනුවත් වීමෙනි.
  • කිසිම අවස්ථාවක තමාගේ උත්සාහයෙන් වේගයෙන් හුස්ම ගැනීම හෝ හෙලීම සිදු නොකළ යුතු වේ.
  • නාසාආග්‍රයෙන් හෝ තොලේන් හුස්ම ස්පර්ශය ගැන අවධානයක් සොයා ගැනීමට නොහැකි අය තම උදරය මගින් මෙම භාවනාව ආරම්භ කළ හැකි වේ.
  • හුස්ම ගැනීම හා හෙලීම සම්බන්ධව අවධානය හොඳින් පවත්වා ගැනීමට හුස්ම ගන්නා අවස්ථාව “ආශ්වාසය” ලෙස මනසින් මෙනෙහි කිරීම වැදගත් වේ. මේ ආකාරයටම ප්‍රාශ්වාසය සඳහා ද “ප්‍රාශ්වාසය” ලෙස මනසින් මෙනෙහි කළ හැකි වේ.

පුහුණුව මනාකොට පවත්වාගෙන යාමට පහතින් පෙන්නුම් කරන කරුණු ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගතන්න.

 

  • කන් මගින් ඇසෙන ශබ්දවල යෙදෙන අවධානය ක්‍රම ක්‍රමයෙන් අඩු කිරීමට උත්සාහ කිරීම.
  • මනස මගින් ඇති කරන වෙනත් අරමුණුවලට අවධානය නොයොදා සිටීම.
  • හුස්ම ස්පර්ශවන කායික ස්ථානය (තොල, නාසාආග්‍රය) හැර වෙනත් කායික කොටස්වලින් අවධානය ඉවත් කර ගැනීම.
  • පිටත ශබ්ද, මනසට මතක් වන අරමුණු, කයේ එක් එක් කොටසකට දැනෙනා වේදනා ආදියට තමන් විසින් දක්වන ප්‍රතිචාර අඩු කිරීමෙන් අවධානය පිටතට යෑම අඩු කර ගත හැකි වේ.
  • ඉහත කරුණු 4 සැලකිල්ලට ගෙන දින කිහිපයක් (දිනකට මිනිත්තු 30 පමණ) පුහුණු වීමෙන් අඛණ්ඩව ආශ්වාසයේ හා ප්‍රාශ්වාසයේ අවධානය පවත්වාගෙන යෑමට හැකියාව ලැබේ.

 

දැන් අපි සතිපට්ඨාන සූත්‍රයේ ඇති භාවනාවේ මූලික උපදෙස්වලට අවධානය යොමු කරමු.

 

“දීඝංවා, අස්සසන්තෝ දීඝං අස්සසිස්සාමිති පජානාති
දීඝංවා පස්සන්තෝ දීඝං පස්සසිස්සාමිති පජානාති
රස්සාංවා අස්සන්තෝ රස්සං අස්සසිස්සාමිති පජානාති
රස්සංවා පස්සන්තෝ රස්සං පස්සසිස්සාමිති පජානාති
සබ්බකාය පටිසාංවේ දී අස්සසිස්සාමිතිි සික්ඛති
සබ්බකාය පටිසංවේදී පස්සසිස්යාමිති සික්ඛති
අස්සම්භයං කාය සංඛාරං අස්සසිස්සාමිති සික්ඛති
පස්සම්භයං කාය සංඛාරං අස්සසිස්සාමිත සික්ඛති”

 

දීර්ඝ ආශ්වාසය හා ප්‍රාශ්වාසය අවස්ථාව

මුලින් සඳහන් කළ ආකාරයට පිටත ශබ්ද, මනසට මතක් වන අරමුණු හා කයේ වෙනත් ස්ථානවල දැනෙන වේදනා ආදියට අවධානය අවම කර හුස්ම ගැන අවදානයෙන් සිටීමේදී දීර්ඝ ආශ්වාසය හා ප්‍රාශ්වාසය අවස්ථාව අත් දැකිය හැකි වේ. මේ සම්බන්ධව දැන ගැනීම පමණක් ප්‍රමාණවත් වන බැවින් “පාජානාති” පදයෙන් පැහැදිලි කර ඇත.

කෙටි ආශ්වාස හා ප්‍රාශ්වාස අවස්ථාව

සාමාන්‍යයෙන් කය (ශරීරය) විවේකයට පත් වනවිට හුස්ම ගන්නා ප්‍රමාණය අඩු වේ. ආනාපානසති භාවනාවේ දී කාය විවේකය ලැඛෙන ප්‍රමාණයට හුස්ම කෙටි වේ. මෙය හඳුනා ගැනීම පමණක් භාවනාවට ප්‍රමාණවත් වේ.

සබ්බකාය පටිසංවේදී අවස්ථාව

කෙටි ආශ්වාසය හා ප්‍රාශ්වාසය දැනෙන අවස්ථාව තවදුරටත් ප්‍රගුණ කිරිමෙන් ආශ්වාසයේ මේ දක්වා හසු නොවන මුල හා අග කොටස් දෙකක් අවධානයට ගත හැකි වේ. දී ඇති සටහන අනුව මෙය තේරුම් ගන්න. මෙම ශික්ෂාව වැඩිකලක් පුහුණු විය යුතුයි.

 

anapanaya

 

පස්සම්භයං කාය සංඛාර අවස්ථාව

මෙම අවස්ථාව භාවනාවේ ප්‍රධාන සන්ධිස්ථානයක් වේ. මේ සම්බන්ධව වැරදි හඳුන්වා දීම සමාජයේ බහුලව ඇති බැවින් නිවැරදිව තේරුම් ගැනීමට උත්සාහ ගත යුතු වේ. පහත කරුණු සම්බන්ධව සැලකිලිමත් වන්න. මීට ඉහතින් දැක්වූ දීර්ඝ ආශ්වාසය, කෙටි ආශ්වාසය, සබ්බ කායපටිසංවේ දී අවස්ථා තුන තුළම භාවනාව සඳහා යෝගියාගේ කාය විඥාණය හා මනෝ විඥාණය යන ඉන්ද්‍රියන් දෙකම ක්‍රියාකාරී වේ.

  • පස්සම්භයංකාය සංඛාර අවස්ථාවේ දී කාය විඥාණයට පමණක් ආශ්වාසය හා ප්‍රාශ්වාසය කෙරෙන අවස්ථාවකි.
  • මෙම අවස්ථාවේ දී යෝගියාට ආශ්වාසය හා ප්‍රාශ්වාසය තේරෙන අතර අවස්ථා දෙකේ වෙනසක් දැකිය නොහැකි වේ.
  • ආශ්වාසය හා ප්‍රාශ්වාසය ශරීරයේ ගැටෙන ස්ථාන තේරුම් ගැනීමට නොහැකිබව, වාඩිවී සිටින ආසනය නොදැනී යාම ආදී අත්දැකීම් ලැබේ.
  • පස්සම්භයං කාය සංඛාර අවස්ථාව, මනාව පුහුණු කිරීමෙන් ආනාපානසති භාවනාවේ සමථ (සමාධි) කොටස සම්පූර්ණ වේ.
  • පස්සම්භයං කාය සංඛාර අවස්ථාව, මනාව පුහුණු කිරීමෙන් ආනාපානසති භාවනාවේ සමථ (සමාධි) කොටස සම්පූර්ණ වේ.

ආනාපානසති භාවනාවේ විපස්සනා කොටස

“ඉති අජ්ඣත්තංවා කායේ කායානුපස්සීවිහරතී
බහිද්ධාවා කායේ කායානුපස්සීවිහරතී
අජ්ඣත්ත බහිද්ධාවා කායේ කායානුපස්සීවිහරතී
සමුදය ධම්මානුපස්සීවා කායස්මීං විහරතී
වය ධම්මානුපස්සීවා කායස්මිං විහරතී
සමුදය ධම්මානුපස්සීවා කායස්මිං විහරතී”

 

ආනාපානසති භාවනාවේ විපස්සනා කොටස දී ඇති පාලි පාඨ මගින් ඉහත දැක්වේ. මෙම භාවනා කොටස සිදු කිරීම සඳහා ආශ්වාසයේ හා ප්‍රාශ්වාසයේ “පස්සම්භයං කාය සංඛාර” යන අවස්ථාව ප්‍රගුණ කර තිබිය යුතු වේ.විපස්සනා භාවනා කොටසට ඇතුලත් වීමට පහත දැක්වෙන උපදෙස් පිළිිපදින්න.

 

  • තමා කරන භාවනාවේ “පස්සම්භයං කාය සංඛාර” යන අවස්ථාවට පත්වීම හඳුනා ගන්න.
  • දැනට ආශ්වාසය හා ප්‍රාශ්වාසයට පමණක් යොමු කළ අවධානය තමාගේ මුළු කයටම යොමු කිරීමට උත්සාහ ගන්න.
  • තමාගේ කය තුලින් දැනෙන සීතලගති, උෂ්ණගති, වැගිරෙන ගති, තද ගති, මස්පිඩු නටන ගති, විවිධ චංචල ගති, කම්පන ගති හඳුනා ගැනීමට උත්සාහ ගන්න.
  • මෙසේ හුස්ම ගැන හා කයට දැනෙන සීතලගති, උෂ්ණගති, වැගිරෙන ගති, තද ගති, මස්පිඩු නටන ගති, විවිධ චංචල ගති, කම්පන ගති ආදියට මාරුවෙන් මාරුවට අවධානය පැවැත්වීමට පුරුදුවන්න.
  • එක් මෙහොතක තමාට දැනෙන ආශ්වාසය, ප්‍රාශ්වාස, සීතලගති, උෂ්ණගති, වැගිරෙන ගති, තද ගති, මස්පිඩු නටන ගති, විවිධ චංචල ගති, කම්පන ගති ආදිය එම මොහොතේ තමාගේ අජ්ඣත්ත කය වේ. මෙසේ අවධානයෙන් සිටීම “ඉති අජ්ඣත්තංවා කායෙ කායානු පස්සී විහරතී”අදාලව සිදු කරන විපස්සනා භාවනාවයි.
  • එක් මොහොතක තමාගේ කයේ නොදැනෙන කොටස් බහිධ කය වේ. මෙහි දී කයෙහි නොදැනෙන කොටස් හිස් අවකාශයක් ලෙස තේරුම් ගනී. මෙසේ අවධානයෙන් සිටීම “බහිද්ධා කායේ කායානුපස්සී විහරතී”අදාලව සිදු කරන විපස්සනා භාවනාවයි.
  • ඉහත සඳහන් අවධාන තවදුරටත් පුහුණු කිරීමෙන් එක් මොහොතක දී අජ්ඣත්ත කායික කොටස් එම මොහොතේම බාහිර කය වන අවස්ථාව අවධානයට ලක් වේ. මෙය “අජ්ඣත්තබහිද්ධා කායේ කායානුපස්සී සමුදයධම්මානුපස්සී, වයධම්මානුපස්සී, සමුධයවයධම්මානු පස්සී විහරතී” යන්න ඉහත අවධාන තුනම පෙන්නුම් කර තවත් ආකාරයක් පමණකි.
  • මෙසේ වාසය කිරීම ආනාපානසති භාවනාවේ විපස්සනාවයි. මෙසේ භාවනා කිරීම, කායික මානසික පීඩාවක් නොමැතිව බොහෝ කාලයක් කළ හැකි වේ.
  • මුලින් සඳහන් කළ විපස්සනාව බහුල වශයෙන් පුහුණු කිරීමෙන් සාමාන්‍ය භාවනා ආසනයේ දී පමණක් නොව නිදහසේ සිටින වෙනත් ඉරියව්වලදී කළ හැකි බවට පුහුණුවන්න.
  • ඉහත සඳහන් පුහුණුව පවතින ඕනෑම මොහොතක ඔබ සිටින්නේ ප්‍රඥා ශික්ෂාව තුලයි.

අදාළ දේශනාව පහතින් ,

 

ආනාපානාසති භාවනාවෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩෙන අනුපිළිවෙල

 

ජීවත්වන අවස්ථාව සම්මා තත්ත්වයට පත්වන අංග යෙදී සිටින ශික්ෂාව
පංචශීලය කැඩෙන අවස්ථාවන් නොමැත නොමැත
පංචශීලය රකින අවස්ථාවන් වචා,කම්මන්න,ආජීව ශීල ශික්ෂාව
ආනාපානසති භාවනාව සිදු කරනවිට දීර්ඝ,කෙටි හුස්ම,සබ්බකාය පටිසංවේදී වචා,කම්මන්න,ආජීව,වායාම, සති සමාධි ශික්ෂාව
ආනාපානසති භාවනාව සිදු කරනවිට(පස්සම්භයං කාය සංඛාර අවස්ථාව) වචා,කම්මන්න,ආජීව,වායාම, සති,සමාධි සමාධි (සමාධි ශික්ෂාව සම්පූර්ණ කරයි)
ඉති අජ්ඣත්තංවා ….ආදී විපස්සනා කොටස් ඇතිවිට වචා,කම්මන්න,ආජීව,වායාම, සති,සමාධි,සංකප්ප ,දිට්ඨි ප්‍රඥා ශික්ෂාව (ආරම්භවි ඇත.)

 

සැලකිය යුතුයි :
විවිධ ස්ථානවල මෙම භාවනා සම්බන්ධව සිදු කළ දේශනා වෙබ් පිටුවේ ඇතුලත් කර ඇති බැවින් ඒවා ශ්‍රවණය කරමිත් ඔබගේ භාවනාව සාර්ථක කර ගන්න.
අදාළ ධර්ම කාරණා ඇතුලත් ආනාපානාසති ධර්ම පත්‍රිකාව .

Nonprofit  – This website is dedicated to Most. Ven. Ellawala Vijithananda Thero since 2016 Nov.